Daraz වෙතින් ඉටුකම COVID-19 අරමුදල‍ට රුපියල් මිලියන 2 ක පරිත්‍යාගයක්

Daraz විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 2 ක මුදලක් සහ වසංගත වළක්වාලීමේ ජාතික සේවයේ නියුතු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල 1,000ක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුව තිබේ.

Daraz නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී දර්ශික අත්තනායක සහ පරිපාලන හා ප‍්‍රසම්පාදන අංශ ප‍්‍රධානී මලිත් රණදේව යන මහත්වරුන් විසින් එම පරිත්‍යාගය පසුගියදා අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිදු කෙරී තිබේ.

එම අවස්ථාවට තරුණ කටයුතු හා ක‍්‍රීඩා කැබිනට් අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොශාන් රණසිංහ යන අමාත්‍යවරුන් එක්ව ඇත.

ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් ක‍්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද වැඩසටහනකි.

ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සමඟ ඉටුකම අරමුදල පිහිටුවන ලදී. සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම මෙම අරමුදලේ මූලික සහ ක්ෂණික අරමුණුගත ඉලක්කය වන අතර එලෙසින්ම COVID-19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින අපගේම ජනතාවට සහනාධාර සැපයීමට රජයට අවස්ථාව සලසාදීම අරමුණු කෙරේ.

වර්තමාන සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදානම අවම කිරීම සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සූදනම් වීමට අවශ්‍ය කරන සාධකයන් වැඩි දියුණු කිරීම සදහා තීරණාත්මක ආයෝජන සිදුකරමින් ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන සූදානම වැඩි දියුණු කිරීම ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දීර්ඝකාලීන අපේක්ෂාවයි.

Daraz  හි සමාජ සත්කාරක ව්‍යාපෘති සිදුකරනු ලබන Daraz Cares කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙත උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා මෙයට පෙරද දායක වී තිබේ.

Visits: 43