ශ්‍රීලංකන් ගුවන් සේවය “විශිෂ්ට සෞඛ්‍යය කළමනාකරණය” සඳහා වූ සම්මානය දිනා ගනියි

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේ දී (ALA) “ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන” කාණ්ඩය යටතේ “විශිෂ්ටතම සෞඛ්‍යය කළමනාකරණය” (Best in managing health at work) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබූ බව පවසයි. සේවා ස්ථානයේ කොවිඩ් -19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගුවන් සමාගම විසින් ගනු ලැබූ ප්‍රවේශයන් නිල වශයෙන් හඳුනාගෙන අගය කිරීමෙන් පසුව මෙම සම්මානය පිරිනමා තිබේ.

ආසියානු නායකත්ව සම්මාන උළෙල 19 වන වරටත් 2021 ජූලි මස 15 වන දින රටවල් 15 කට අධික ජ්‍යෙෂ්ඨ නායකයින් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්යමණ්ඩල සාමාජිකයන් අතර වෛරසය ආසාදන වීම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂිත හා පූර්වාරක්‍ෂක ඵලදායී පියවරයන් ජූරි සභාව විසින් ඇගයීමට ලක් කරන ලදී. නිත්‍ය සන්නිවේදනය තුළින් සාමාජිකයින් අතර දැනුවත්භාවය ඇති කිරීම සහ අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම සඳහා වැඩසටහන් පැවැත්වීම සඳහා මානව සම්පත් අංශය ක්‍රියාශීලී විය. ගුවන් සේවය කොවිඩ් වැළැක්වීමේ පියවර සමාලෝචනය කිරීම සඳහා සියලු ප්‍රධාන අංශවල නියෝජිතයන් සමඟ ‘COVID වැළැක්වීමේ කාර්ය සාධක බලකායක්’ පිහිටුවන ලදී. සේවකයින් අතර ඇති අවදානම වළක්වා ගැනීම සඳහා කාර්ය සාධක බලකාය විශේෂ අවධානය යොමු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා මෙසේ පැවසීය “මෙම පිළිගැනීම මගින් වසංගතයේ ආරම්භයේ සිටම සියලු සාමාජිකයින්ට ගුවන් සේවය ආරක්ෂිත පරිසරයක් බවට පත්කිරීමේ අපගේ සැලකිලිමත් භාවය මනාවට පිළිබිඹු වෙනවා. කොවිඩ් -19 සමඟ සටන් කිරීම සඳහා අප ගෙන ඇති පියවර දැනටමත් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා තියෙනවා. අපගේ සියලුම යටිතල පහසුකම්, ක්‍රියාවලීන් සහ දැනුවත් කිරීම් ගෝලීය සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේදව අනුව සිදු ව ඇති බව සනාථ වෙනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව, විශේෂිත වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොව්ඩි මර්ධන එන්නත් ගුවන් සේවා වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සාර්ථකව ලබා දී ඇත. ගුවන් සමාගමේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දී අනිවාර්ය හා අහඹු කොවිඩ් -19 පරීක්ෂණ පැවැත්වීම් සිදු කරන අතර ගුවන් කාර්ය මණ්ඩලය සහ මෙහෙයුම් සේවකයින් සඳහා වන පරීක්ෂණ අවශ්‍යතාවයන්ට අනුකූල ව සිදු වේ. සියළුම ඉදිරි පෙළ සාමාජිකයින් පුද්ගලික ආරක්ෂක ආම්පන්න වලින් සමන්විත වන අතර, ඔවුන්ගේ නිල ඇඳුමට ඉහළින් ආරක්ෂිත ඇදුමක්, ආරක්ෂිත මුහුණු ආවරණයක් සහ අත්වැසුම් ලබා දී ඇත. එපමණක් නොව, සියලුම සේවකයින් පරිශ්‍රයේ දී නිතිපතා උෂ්ණත්ව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

“කෝවිඩ් -19 වෛරසයෙන් සංචාරකයින් සහ සමාජිකයින් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පූර්වාරක්ෂාව වැඩි දියුණු කරනවා. අපගේ සාමාජිකයින්ට සහ මගීන්ට ප්‍රයෝජනවත් වන සෑම අංශයකින්ම අපි ඩිජිටල්කරණය වේගවත් කර තියෙනවා. විශේෂයෙන් Covid-19 කාලවලදී, එහි භාවිතා කරන්නන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනවා. සෞඛ්‍ය, ආරක්ෂාව සහ සේවක යහපැවැත්ම පිළිබඳව අවධාරණය කරමින් වසංගතය තුළ සේවකයින් කේන්ද්‍ර කරගත් මුලපිරීම් කෙරෙහි අපි අවධානය යොමු කළා. ”, යැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පැවසීය.

Visits: 29