මහජන බැංකුව යළිත් ද බෑන්කර් ‘විශිෂ්ටතම බැංකු 1,000’ අතරට

එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් සඟරාව’ විසින් අඛණ්ඩව සිව් වැනි වරටත් මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවත් වරක් එක් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ද බෑන්කර් සඟරාව, සිය Tier 1 capital කාණ්ඩය යටතේ මූලික වශයෙන් බැංකු ශ්‍රේණිගත කරනු ලබයි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් පළ කළ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘කොවිඞ්-19 වසංගතය මධ්‍යයේ මෙවැනි ජයක් හිමි කරගැනීමට හැකි වීම තුළින් සැබැවින්ම  ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක් හමුවේ නොසැලී සිටීමට අපට ඇති හැකියාව මනාව පිළිඹිබු වෙනවා. තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අපත්, අපගේ කාර්ය මණ්ඩලයත් කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ටත් කොටස් කරුවන්ටත් හෘදයාංගමව අපි ස්තුතිවන්ත වෙනවා.’ යනුවෙන් පවසා ඇත.

2021 වසරේදී සිය 60 වැනි සංවත්සරය සමරන මහජන බැංකුව, කොවිඞ්-19 වසංගත කාලය අතරතුර සිය ශාඛා ජාලයෙන් 70‍% කට වැඩි ප‍්‍රමාණයක් විවෘතව තබමින් ඉතා සුවිශේෂී සේවයක් සලසා දුන් අතර ව්‍යාපාරික සහ පුද්ගලික ගනුදෙනුකරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 800කට වැඩි මූල්‍ය පහසුකම් පිරිනමන ලදී.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරීරැසාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු මහතා අදහස් දක්වමින්, ‘අඛණ්ඩව 4 වැනි වරටත් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමේ අවස්ථාව අපට හිමි වීම පිළිබඳව අපි ඉතාමත් සතුටටත්, ආඩම්බරයටත් පත් වෙනවා. අපගේ ජාතියත්, ජනතාවත් කෙරෙහි ඇති වගකීම අප මනාව ඉටු කරන බවට මෙය කදිම නිදසුනක්. තව තවත් ශක්තිමත් වෙමින් මින් ඉදිරියටත් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’ යනුවෙන් පවසා ඇත.

ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ඩිජිටල් මූල්‍ය පහසුකම් සලසා දෙමින් සහ රටේ ඩිජිටල් පහසුකම් පිරිනැමීමේ ක‍්‍රම විකසනයට අසමසම වූ දායකත්වයක් පිරිනමමින්, මහජන බැංකුව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රමුඛ ස්ථානයට ළඟා වී සිටී.

Visits: 55