CT Holdings සතු කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී කොටස් ප්‍රමාණය ඉහළට‍

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් සිලෝන් (පීඑල්සී) සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරුවා වන CT Holdings PLC සමාගම තමන් සතු එම සමාගමේ කොටස් ප්‍රතිශතය 69.8% සිට 71%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි.

පසුගිය සිකුරාදා දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙහිදී  CT Holdings PLC සමාගම මගින් LF Ruffer Pacific and Emerging Markets Fund සතුව තිබූ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී කොටස් මිලියන 3.7ක් එනම් 1.4%ක ප්‍රතිශතයක් මිලදී ගෙන තිබේ.

එහිදී කොටසක් රුපියල් 250ක් බැගින් අලෙවි කෙරී ඇතැයි මේ පිළිබඳව අනාවරණයක් සිදු කරන ඩේලි එෆ්ටී පුවත්පත පවසයි. මෙම LF Ruffer Pacific සමාගම කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමේ දිගුකාලීන විදේශීය ආයතනමය කොටස් හිමිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

මෙම ගනුදෙනුවත් සමගින්ම කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 2.75කින් එනම් 1.11%කින් ඉහළ ගොස් ඇති අතර, දිනය නිමාවේදී එය රුපියල් 249.75ක් විය. මේ අතර ඊයේ (19දා) එම වටිනාකම රුපියල් 249.25ක් දක්වා ශත 50කින් පහත වැටීම සිදුව තිබේ.

කාර්ගිල්ස් සමූහය 2020/21 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 112.6ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එය පෙර මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 5.2%ක වර්ධනයකි.

එහිදී විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන අංශයේ ඉහළ වර්ධනය මෙන්ම ආහාර සිල්ලර අලෙවි අංශය තුළ පෙන්නුම් කළ ශක්තිමත් කාර්යසාධනය මෙලෙස සමූහයේ පිරිවැටුම වර්ධනය වීමට දායක වී තිබේ.

මේ අතර පෙර වසරට සාපේක්ෂව සමූහයේ මෙහෙයුම් ලාභය මේ වසරේදී රුපියල් බිලියන 7.3ක් දක්වා 3.5%කින් ඉහළ ගොස් ඇත. එසේම සමූහයේ බදු පසු ලාභය මෙම කාලසීමාවේදී රුපියල් බිලියන 3.48ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 26.2%ක වර්ධනයකි.

Visits: 246