ලාෆ්ස් ගෑස් ආනයනය නැවැත්වීමට නිල වශයෙන් තීරණයක් ගෙන නැහැලු

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සිය එල්පී ගෑස් ආනයනය නැවැත්වීමට මේ දක්වා නිල වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් යවමින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම මේ බව සඳහන් කර තිබේ.

ඊයේ දිනයේදී පළ කෙරුණු ද මෝර්නිං පුවත්පත තුළ සඳහන් කෙරුණු ආකාරයට ලාෆ්ස් ගෑස් සමාගම සිය එල්පී ගෑස් ආනයනය නවත්වා ඇති බවට පළ වූ වාර්තාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට පිළිතුරු ලෙස මෙම සඳහන් කිරීම සිදු කරන බවත් සමාගම වැඩිදුරටත් පවසා තිබේ.

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමට තවදුරටත් එල්පීගෑස් ආනයනය සඳහා හැකියාවක් නොමැතිවීම මෙලෙස සිය මෙහෙයුම් අත්හිටුවීම එම සමාගම තීරණය කර තිබෙන බව අදාළ පුවත් වාර්තාවේ සඳහන් විය.

කෙසේ වෙතත් ඊයේ මෙම සඳහනත් සමගින් ලාෆ්ස් ගෑස් සමාගමේ කොටසක වටිනාකම ශත 50 කින් පමණ අඩුවිය. ඒ අනුව ඊයේ දිනය නිමාවේදී කොටසක වටිනාකම රුපියල් 21.20ක් විය. එසේම අද දිනයේදී මේ දක්වා ලාෆ්ස් ගෑස් පීඑල්සී කොටසක වටිනාකම ශත 70 කින් අඩුවී ඇති අතර, එය 3.30%ක අඩුවිමකි.

Visits: 274