නිසි ලෙස කළමනාකරණය කළ හා වගකීමෙන් යුතුව බැහැර කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ධන නිධානයකි

ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීමේ ගැටලූවට මුහුණ දෙමින් සිටින අතර ශ‍්‍රී ලංකාවේ තත්වය ද ඊට කිසිඳු වෙනසක් නොමැත. මෙරට සෑම පුද්ගලයෙකුම දිනකට කසළ කිලෝග‍්‍රෑම් 0.64 ක් පමණ බැහැර කරනු ලබන අතර එමගින් වාර්ෂිකව එකතු කරනු ලබන කසළ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. මෙම ගැටලූවට වගකීම් විරහිතව සිදු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම ද හේතුවක් වී ඇත.

මේ වන විට, ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ප්ලාස්ටික් පරිභෝජනය 16% ක වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර, සංඛ්‍යාත්මක වශයෙන් එය මෙටි‍්‍රක් ටොන් 265,000 කි. මේ අනුව, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩු කිරීම, නැවත භාවිතය හා තිරසාර ලෙස ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීම සඳහා ඉහළ ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතුව ඇත. ශ‍්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකරන්නන් සහ සංවිධාන හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති, ‘Go Recycling Hub’ – ‘ගෝ ප‍්‍රතිචක‍්‍රීයකරණ මධ්‍යස්ථානය’ (GoR) යනු  සිලෝන් එමරල්ඞ් වේ සමාගම විසින් ආරම්භ කරන ලද පරිසරය සංරක්ෂණය කිරීමේ සංවිධානයකි. නිවසේ එකතු වන කසළ වෙන්කර එකතු කිරීම සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන පිළිබඳව ඔවුන් ජනතාව දැනුවත් කරනු ලබන අතර, ආයතනික සමාජ වගකීම් (CSR) ක‍්‍රියාකාරකම් පැවැත්වීම, ප්ලාස්ටික් නැවත මිලදී ගැනීම මෙන්ම නිවාස, පාසල්, රෝහල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පොදු ස්ථානවලින් ප්ලාස්ටික් මිලදී ගෙන විශාල වශයෙන් එකතු කොට ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොමු කිරීම ද සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන ‘Go Recycling Hub’ (GOR) හි එක් අධ්‍යක්ෂවරයෙක් වන මංගල බණ්ඩාර මහතා ‘‘ප‍්‍රතිචක‍්‍රීයකරණයට පහසුකම් සපයන්නන් ලෙස අප, ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට නව ජීවයක් ලබා දීමට උත්සාහ කරනවා. ඒ නිසයි අපි 2020 දී GOR වැඩසටහන සහ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා සැකසීමේ මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) ආරම්භ කරනු ලැබුවේ. අපි PET (වතුර, සෝඩා හා සිසිල් බීම බෝතල් වැනි) සහ PP (මාගරින් බහාලූම් හා යෝගට් කෝප්ප), HDPE හා LDPE (ෂැම්පු/කන්ඩිෂනර්, පවිත‍්‍රකාරක බෝතල් හා පොලිතීන් බෑග් ඇතුළුව) වැනි ප්ලාස්ටික් වර්ග එකතු කරනවා. ඉන්පසුව මෙම ද්‍රව්‍ය කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම හා ඉකෝ ස්පින්ඞ්ල්ස් සමාගම එක්ව ලබා දෙන ලද යන්ත‍්‍ර හා අනෙකුත් පහසුකම් භාවිතා කරමින් සැකසුම් කර, ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා යොමු කරනවා. අපගේ අරමුණ වන්නේ කසළවලට වටිනාකමක් ලබා දීම හා කසළ එකතු කිරීම තුළින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනතාව සඳහා විවිධ රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමයි.’’ යනුවෙන් සඳහන් කළේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉහළ යමින් පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලූව හඳුනා ගැනීමෙන් අනතුරුව GOR කණ්ඩායම විවිධ මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. එහිදී, ‘GOR’ මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා කසළ බඳුන් ව්‍යාපෘතිය, කසළ බහාලන මලූ ව්‍යාපෘතිය, දැනට ප්ලාස්ටික් එකතුකරන්නන්ගේ සැපයුම් ජාල ව්‍යාපෘතිය සහ ග‍්‍රාමීය ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති 4ක් ආරම්භ කළේය. මෙමගින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ විවෘත පරිසරයට, ජල මාර්ගවලට ප්ලාස්ටික් දැමීම හා ප්ලාස්ටික් පුළුස්සා දැමීම අවම වනු ඇත. ”අප දැනට රත්නපුරය ප‍්‍රදේශයේ නගර හතක මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් ඇති අතර, 2021 අවසන් වන විට තවත් නගර හතක් කරා මෙම ව්‍යාපෘතිය ගෙන යෑම අපගේ ඉලක්කයයි” යනුවෙන් මංගල මහතා පැහැදිලි කළේය.

මෙම කසළ බඳුන් ව්‍යාපෘතිය හරහා, කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ සහයෝගයෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මේ වන විට ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 15ක් ස්ථාපිත කර තිබේ. ‘කසළ බහාලන මලූ ව්‍යාපෘතිය’ හරහා ‘GoR’ මගින් කුඩා හා මහා පරිමාණ වෙළෙඳසැල්වලට ආසන්න වශයෙන් PET බෝතල් 120 (කිලෝ 5ක්) ගබඩා කළ හැකි විශාල ප‍්‍රමාණයේ බෑග් ලබා දෙයි. වෙළෙඳසැල් හිමියන්ට දිරිදීමනා ලබා දීමේ ක‍්‍රමයක් ලෙස, එකතු කරන ලද මෙම ප්ලාස්ටික් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 20-25ක් අතර මිලකට ඔවුන්ගෙන් මිලදී ගනු ලබයි.

‘GoR’ වැඩසටහන මගින් ඔවුන්ගේ ‘ප්ලාස්ටික් රැස් කිරීමේ සැපයුම් ජාල’ ව්‍යාපෘතිය හරහා ප‍්‍රාදේශීය සභා හා මහ නගර සභාවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ගනී. ‘‘එවගේම අප සුළු ප‍්‍රමාණයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන්ගෙන් ද ප්ලාස්ටික් ලබා ගන්නා අතර PET ප්ලාස්ටික් කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 35ක් අප ඔවුන්ට ගෙවනු ලබනවා. එකතුකරන්නන්ට අප හොඳින් ගෙවීම් කරනු ලබන නිසා, එකතුකරන්නන්ගේ ජාලය ද පුළුල් වී තිබෙන අතර, එමගින් අප එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. පෙබරවාරි මසදී අපට ප්ලාස්ටික් කිලෝ 1000ක් පමණ ලැබුණු අතර ජුනි මාසයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ 3000-4000 ක් පමණ එකතු කර ගැනීමට අපට හැකි වුනා. එකතු කරන්නන්ට දිරිදීමනා ලබා දීම ඉතා වැදගත්. එමගින් ඔවුන්ගේ ජීවනෝපායන් ඉහළ නැංවෙනවා වගේම අපගේ මධ්‍යස්ථානය වෙත වැඩි වැඩියෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙන ඒමට ඔවුන්ව උනන්දු කරවනවා.’’ යනුවෙන් ඔහු පැවසුවේය.

GOR හි නව ග‍්‍රාමීය ව්‍යාපෘතිය, කොකා-කෝලා, ඉකෝ ස්පින්ඩල්ස්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය (MOH),  මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI), ග‍්‍රාම නිලධාරි කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) රත්නපුර පළාත් කාර්යාලය ආදි අංශවල ආධාර ඇතිව ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විවිධ ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන්, නිවෙස්වල හා පාසල්වල වගකිවයුතු ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව දැනුවත් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි. මෙහිදී තම නිවසේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගෙන ඒමට දරුවන් පෙළඹ වීම සඳහා පාසල්වල තරඟ පවත්වනු ඇත.

”දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල බොහෝ දෙනෙකුට විවිධ හේතූන් නිසා ජීවත්වීම සඳහා ස්ථිර ආදායමක් නොමැති අතර එය COVID නිසා තවදුරටත් නරක අතට හැරී තිබෙනවා. එනිසා රැකියා උත්පාදනය වැඩි කිරීමත් මෙම නව ව්‍යාපෘතියේ අංගයක්.” යනුවෙන් මංගල අවධාරණය කළේය.

ඔවුන්ගේ සේවාවන් පුළුල් කිරීම සඳහා, කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන එකතු කිරීමේ ඒකකයේ කාර්යාලය ලෙස අඩි 20 ක නවීකරණය කරන ලද බහාලූමක්ද, ප්ලාස්ටික් තෙරපුම් යන්ත‍්‍රයක් (bailing machine) සහ සියලූ වර්ගවල ප්ලාස්ටික් කුඩා කැබලි වලට (flakes) කැඩිය හැකි යන්ත‍්‍රයක් (crusher) ලබා දී ඇත. මෙමගින් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට වටිනාකමක් එකතු කර ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා අංගසම්පූර්ණ සැකසීමේ මධ්‍යස්ථානයක් (MRF) ස්ථාපිත කිරීමට ‘GOR’ ට අවස්ථාව ලැබී ඇත. 2021 ජුලි වන විට, ඔවුන් ප්ලාස්ටික් කුඩු කරන යන්ත‍්‍රය (crusher) PET බෝතල් කුඩා කැබලි බවට පත් කිරීමට යොදා ගනු ඇති අතර, ඒවා ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් වෙත ලබා දෙනු ඇත. ඉකෝ ස්පින්ඞ්ල්ස් යනු ප්ලාස්ටික් කැබලිවලින් ඍජුවම නූල් සෑදීමේ හැකියාවෙන් යුත් ලෝකයේ දැනට ඇති කර්මාන්තශාලා දෙකෙන් එකකි.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන පරිසර දුෂණය පාලනය කිරීම සඳහා මෙහෙයුම් ක‍්‍රියාත්මක වුවද, අපද්‍රව්‍ය එකතු කිරීමේ ක‍්‍රියාවලියේ ඇති ගැටලූ GOR කණ්ඩායම විසින් නිරීක්ෂණය කොට ඇත. ‘‘සාමාන්‍ය එකතුකරන්නන් ඔවුන්ට ඍජුව ලබා දෙන කසළ එකතු කරනවා හැරෙන්නට පාරවල්වලට හෝ ජල මාර්ගවලට දමනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නේ නෑ. කසළ එකතුකරන්නන් නිසි වෙලාවට නිවෙස්වලින් ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු නොකරන විට මිනිසුන් සමහරවිට ඒවා පුළුස්සා දමා විශාල පරිසර හානියක් සිද්ධ කරනවා.’’ යනුවෙන් මංගල මහතා පවසයි.

‘GOR’ වැඩසටහන මගින් දින, සති, මාස් පතා කසළ එකතු කිරීමට අමතරව, ආයතනික සමාජ වගකීමක් ලෙස මාස දෙකකට වරක් ගංගා සහ පොදු ස්ථානවලින් ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහන් ද පවත්වයි. ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම අපගේ ප‍්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. ‘‘මිනිසුන් ප්ලාස්ටික් ඉවත දමන්නේ එහි වටිනාකම නිසි ආකාරයෙන් නොදන්නා නිසයි. අප ඊට වටිනාකමක් ලබා දී, එකතු කරගනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට ගෙවීමක් ද කරනවා. දැනට ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 10%ක් පමණයි. මේ අගය වැඩි කිරීමට අප උත්සාහ කළ යුතුයි. ඒ සඳහා අපට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ නිෂ්පාදන පරිභෝජනය පසු ඇති වන කසළ නිසි ලෙස බැහැර කිරීමේ වගකීමද වෙන කෙනෙකුගේ නොවිය යුතුයි. අප අප ගැනම වගවිය යුතුයි. ප්ලාස්ටික් පරිහරණය කරන්නන් ලෙස අප මීට වඩා වගකීමක් ගත යුතු වනවා. එවිට පහසුකම් සපයන ආයතන ලෙස අපගේ කාර්යභාරය වඩාත් ලේසි පහසු වනු ඇත.’’ යනුවෙන් මංගල නැවතත් අවධාරණය කළේය.

Visits: 1168