ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් සිය තීන්ත සහ ආලේපන ව්‍යාපාරය අලෙවි කිරිමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන මෙරට ප්‍රමුඛ පෙළේ බිටුමින් පාදක නිෂ්පාදන ඉදිරිපත් කරන ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සිය තීන්ත සහ ආලේපන ව්‍යාපාරය අලෙවි කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ඒ අනුව මේ වනවිට සමාගම එම අලෙවි කිරීමේ එකඟතාව සම්පූර්ණ කිරීමේ අදියරේ සිටින බවත් සඳහන් කරයි.

එම සමාගමෙහි කොටස් තුළ සිදු වන ගනුදෙනුවල අසාමාන්‍යතාව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම්දීමක් සිදු කරමින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම මේ කරුණු දක්වා තිබේ.

මෙහිදී එම තීන්ත සහ ආලේපන ව්‍යාපාරය වසර ගණනක් පුරා තමන්ට ලාභ අත්කර නොදුන් බවත්, ඉදිරියේදීද එය ලාභදායී ව්‍යාපාර අංශයක් බවට පත් වෙනු ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු නොවන බවත් පවසයි.

“මෙම අලෙවියත් සමගින්ම සමාගමේ ප්‍රාග්ධනය සහ සම්පත් මෙම ව්‍යාපාර අංශයෙන් නිදහස් කිරීමට හැකි වේවි. මෙම තීන්ත සහ ආලේපන ව්‍යාපාරය වසර ගණනක් පුරාම ලාභඉපැයීමකින් තොරව පැවතුණා. අනාගතයේදීත් එය ලාභ උපයාවි කියා අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ නැහැ.” සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙලෙස එම ව්‍යාපාරය අලෙවි කිරීම සිය සමාගමේ දළ පොත් වටිනාකම වෙත කිසිදු බලපෑමක් එල්ල නොකරන බවත් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව සමාගමේ කොටස් වටිනාකම් සම්බන්ධයෙන් බලපෑම සඳහා ඉහත සඳහන් කළ තොරතුර හැරෙන්නට වෙනත් සංවේදී තොරතුරක් නොමැති බවත් එම සමාගම අවධාරණය කර සිටියි.

1964 වසරේදී ආරම්භ කෙරුණු ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම අද වනවිට විශේෂිත බිටුමින පාදක නිෂ්පාදන සඳහා මෙරට ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරයි. NOLEAK ® , BRITEX® , SEALKOTE ® , EXCHEMIE ® යන සුප්‍රසිද්ධ වෙළෙඳනාමවල නිෂ්පාදන මෙම සමාගම හරහා අලෙවි කෙරේ.

2020 මාර්තු 31 වැනිදා වනවිට ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 445,837ක් එනම් 66.89%ක ප්‍රතිශතයක් ගෝවින්දස්වාමි රාමනන් මහතාට හිමිය. එසේම සම්පත් බැංකු ගිණුමක් හරහා ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් මහතා හට කොටස් 43,688ක් හිමි අතර, එය 6.55ක ප්‍රතිශතයකි.

Visits: 607