ජනවාරි සිට ජූනි දක්වා තේ අපනයන ආදායම රුපියල් බිලියන 127 ඉක්මවයි

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාල සීමාව තුළදී තේ අපනයනය හරහා මෙරට ඉපැයූ ආදායම රුපියල් බිලියන 127.8ක් (127,829,922,953ක්) බව වාර්තා වෙයි. එය 2020 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී තේ අපනයනය හරහා රැස් කරගත් ආදායම වූ රුපියල් බිලියන 106.1ට (106,084,739,930) සාපේක්ෂව 16.5%ක වර්ධනයකි.

මෙරට තේ තැරැව්කාර සමාගමක් වන FORBES & WALKER TEA BROKERS (PVT) LTD සමාගම මගින් නිකුත් කළ 2021 වසර සඳහා වන අලුත්ම තේ අපනයනය සහ එහි ආදායම් පිළීබඳ සමීක්ෂණ දත්ත තුළ මේ පිළීබඳව සඳහන්ව තිබේ.

මෙම ආදායම ලබා ගැනීම සඳහා සඳහා ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 136ක් (136,982,736ක්) අපනයනය කර තිබේ. 2020 වසරේ මෙම කාලයේදී අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 124 කි (124,086,833කි)

මෙහිදී තේ තොග, තේ පැකැට්ටු, තේ බෑග්, ක්ෂණික තේ මෙන්ම හරිත තේ ලෙස මෙම අපනයනයන් සිදු කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළදී තේ තොග අපනයනයෙන් රුපියල් මිලියන 42.6ක්ද , තේ පැකැට්ටු අපනයනයෙන් රුපියල් මිලියන 53.7ක්ද,  තේ බෑග් අපනයනයනේ රුපියල් මිලියන 19.0ක්ද උපයා ගෙන ඇත. එසේම ක්ෂණික තේ අපනයනය හරහා රුපියල් මිලියන 2.6ක්ද, හරිත තේ අපනයනය හරහා රුපියල් මිලියන 4.5ක්ද උපයා ගැනීමට සමත්ව තිබේ.

මෙම වටිනාකම් 2020 වසරේදී එම අංශ හරහා උපයා ගත් ආදායම් හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක්ද පෙන්නුම් කර තිබේ.

මේ අතර පසුගිය ජූනි මාසයේදී මෙරට තේ අපනයනයහරහා ඉපැයූ ආදායම රුපියල් බිලියන 24.76කි. එය 2020 ජුනි මාසයේදී වාර්තා කළ රුපියල් බිලියන 21.37ට සාපේක්ෂව බිලියන 3.39 ක ඉහළ යාමකි. එහිදී මේ වසරේ ජූනි මාසයේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 26.99ක් අපනයනය කර ඇති අතර, 2020 දී එය කිලෝග්‍රෑම්මිලියන 23.68ක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී 2021 වසරේ මුල් මාස හය තුළදී මෙරට තේ ආනයනය කරන ප්‍රධානම රට බවට තුර්කිය පත්ව ඇත. දෙවැනි තැන ඉරාකයටත්, තෙවැනි තැන රුසියාවටත් හිමිව තිබේ. එසේම එක්සත් අරාබි එමීරය මේ වනවිට එහි සිව්වැනි ස්ථානයේ පසුවෙයි. ඉරානය පසුගිය වසරේ සිටි සිව්වැනි ස්ථානයේ සිට මේ වසරේ හය වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

Visits: 383