එක්සත් ජාතීන්ගේ හිටපු ප්‍රධාන ආර්ථිකවිද්‍යාඥයා කැන්රිච් ෆිනෑන්ස්හි නව සභාපති වෙයි

මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගමක් වන කැන්රිච් ෆිනෑන්ස් සමාගම සිය නව සභාපතිවරයා ලෙස ආචාර්ය රවී රත්නායක මහතා පත්කර ඇතැයි පවසයි.

ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ප්‍රධාන ආර්ථිකවිද්‍යාඥයා සහ ආසියා පැසිපික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ ආයෝජන අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

මෙරට මූල්‍ය සමාගමක් වෙත මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ ඉහළ අත්දැකීම් සහිත හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු පත් කළ පළමු අවස්ථාවද මෙයයි. රත්නායක මහතා සතුව වසර 35කට අධික කාලයක ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජන සහ ව්‍යපාර පිළිබඳ අත්දැකීම් පවතින බවත්, ඔහු ලොව පිළිගත් ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යාඥයෙකු බවත් කැන්රිච් ෆිනෑන්ස් සමාගම පවසයි.

එසේම ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකාවද ඇතුළුව බොහෝ දියුණු වෙමින් පවතින රටවල ආර්ථික උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා කලක් ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, USAID යන සංවිධානවල උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත.

මීට අමතරව ඒ මහතා කොරියානු විශ්වවිද්‍යාලයේ සහ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඒ මහතා කලක් මෙරට මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන කැන්රිච් ෆිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් වීරසිංහ මහතා, “ආචාර්ය රත්නායක මහතාගේ නායකත්වය සහ නව අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අප ස්ථාවර, ලාභදායී සහ තිරසාර ව්‍යාපාරික උපායමාර්ගික නව ගමනක් ආරම්භ කිරීමට කටයුතු යොදනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 147