රිචර්ඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යාවකාශ ගමන 2014 දී The Simpson කාටූනයේ තිබිලා

වර්ජින් ගැලක්ටික් සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් පසුගිය ජූලි 11 වැනිදා සිය අභ්‍යවකාශ යානාවක නැගී චාරිකාවක යෙදෙමින් අභ්‍යවකාශ ඉතිහාසය අලුතින් ලිවීමට සමත්විය.

මෙහිදී ඔහු සිය සමාගමේ සාමාජිකයන් හය දෙනෙකුද සමගින් ගුරුත්වයක් රහිත අභ්‍යවකාශයේදී එම යානයේ තුළ රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටද ප්‍රසිද්ධියට පත්විය.

කෙසේ වෙතත් අදින් වසර හතකට පෙරාතුව 2014 වසරේ මාර්තු 23 වැනිදා විකාශය කෙරුණු සුප්‍රසිද්ධ ‘ද සිම්ප්සන්’ (The Simpson) කාටුනයේ එක් කතාංගයක් තුළ රිචර්ඩ් බ්‍රැන්සන් මේ ආකාරයට යානයක නැගී අභ්‍යවකාශය වෙත යන ආකාරය සටහන්ව තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එහි 25 වැනි කතාමාලාවේ 15 වැනි කතාංගය තුළ මෙම සිදුවීම ඇතුළත්ව ඇත. එහි නිර්මාණකරුවන් විසින් මෙම කතාංගය The War of Art ලෙසින් නම් කර තිබී ඇත. එහිදී බ්‍රැන්සන් අභ්‍යවකාශ යානයක් අභ්‍යන්තරයේ ඍණ ගුරුත්වයක් යටතේ පාවෙමින් සිටින ආකාරය දැක්වෙයි.

මීට පෙරද මෙම The Simpson කාටුන් මාලාව හරහා විවිධ අවස්ථා පිළීබඳව අනාවැකි පළ කරමින් නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වීම, එක්සත් ජනපදයේ කැපිටල් නුවර වෙත ප්‍රහාරයක් එල්ල වීම මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය සඳහා කාන්තාවක පත්වීම සහ ඇය දිවුරුම් දීම සඳහා දම් පැහැති ඇඳුමකින් සැරසී සිටීම යනාදියද ඒ අතර වෙයි.

අද ලොව ධනවතා වන ඇමසෝන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද සිය බ්ලූ ඔර්ජින් රොකට්ටුවේ නැගී මෙම මාසය අගදී අභ්‍යවකාශයට යාමට සැලසුම් කර සිටිද්දී, ඊට දින දහයකට පෙරාතුව බ්‍රැන්සන් මෙලෙස අභ්‍යවකාශ චාරිකාවේ යෙදුණි.

ඒ අනුව බ්‍රැන්සන්ගේ මෙම අභ්‍යවකාශ චාරිකාව වෙත මාධ්‍ය හරහා වැඩි අවධානයක් යොමු වූ අතර, මෙය අනාගත අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භය බවටද සඳහන් ව තිබේ.

බ්‍රැන්සන් සිය වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ මෙහෙයුම පිළිබඳව පළමුවරට අනාවරණය කරන ලද්දේ 2013 වසරේදීය.

Visits: 211