හෝටල් අංශයේ සමාගම් සඳහා වන ආයෝජක ආකර්ෂණය තවදුරටත්

අද (ජූලි 14) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් උදාසීන ගතියක් පෙන්නුම් කළත්, පසුව ඉහළ ගැණුම්කාරීත්වයකින් එය ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම සිව්වැනි දිනයටත් හෝටල් ක්ෂේත්‍රයේ සමාගම් වෙත වැඩි ආයෝජක ආකර්ෂණයක් පෙන්නුම් කර තිබේ. රට තුළ කොරෝනා පාලනය සාර්ථක අතට යොමුවීමක් පෙන්නුම් කිරීම ඊට හේතු වී තිබේ. එසේම අද දිනයේදී සිදු වුණු LMF ගනුදෙනු වඩාත් කැපි පෙනෙන අවස්ථාවක් වූ බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,903.88ත් ඒකක 7,948.43ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,939.32ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 13) දිනයට සාපේක්ෂව ඒකක 25.88ක් එනම් +0.33%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු ලංකා මිල්ක් ෆුඩ්ස් සහ කැන්ඩි හොටෙල්ස් කම්පැනි කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 27.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 63ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.49), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.47), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+3.76), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+2.06), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.06), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-7.79), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.77), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.04), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-1.69), හේලීස් පීඑල්සී HAYL (-1.36යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,012.17ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 13දා) ‍ට සාපේක්ෂව ඒකක 9.90 ක එනම් +0.33%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.05ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 13දා) වාර්තා කළ රුපියල් බිලියන 1.93ට සාපේක්ෂව 6.3% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.52ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.72%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 39.58ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 623.1ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 583.52කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.91ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.67 කි. එසේම ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 340.0ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 606ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම පාරිභෝගික භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 380ක සහ රුපියල් මිලියන 305ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 403