සෞදි – එමීර සම්මුතියෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩු වෙයි

ගෝලීය බොරතෙල් සැපයුම සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය අද දිනයේදී පැමිණි සම්මුතියත් සමගින්ම ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහත වැටුණු බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

මෙම සම්මුතියට අනුව එක්සත් අරාබි එමීරය වෙත සිය බොරතෙල් නිෂ්පාදන ඉහළ නැංවීමට අවස්ථාව හිමිව තිබේ. දැනට සතියකට පමණ පෙරාතුව පැවැත්වීමට නියමිතව තිබූ OPEC+ සාකච්ඡාවකදී මෙම සම්මුතිය‍ට පිවිසීමට නියමිතව තිබුණත්, දෙරට අතර පැවැති මතභේදයක් නිසා එය සාර්ථක නොවීය.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරයද සමගින් ලොව බොරතෙල් නිෂ්පාදන රාජ්‍යයන් ගෙන් සැදුම්ලත් OPEC සංවිධානය සහ රුසියාව සහ අනෙකුත් නිෂ්පාදකයන්ද ඇතුළත්ව OPEC+ පිහිටුවා තිබේ. ඒ අනුව මෙම සම්මුතියත් සමගින්ම එම සාමාජික රාජ්‍යයන් වෙත 2022 වසර අවසන් වන තුරුම සිය බොරතෙල් නිෂ්පාදන සීමා කිරීම සිදු කළ හැකි වනු ඇතැයි සඳහන් වෙයි.

මේ තත්ත්වයත් සමගින්ම අද (14දා) මෙරට වේලාවෙන් පස්වරු 4.50 පමණ වන විට (ග්‍රිනිච් මධ්‍යයන වේලාවෙන් 11.20ට) ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 75.92ක් දක්වා ඩොලර් ශත 57කින් එනම් 0.75%ක ප්‍රතිශතයකින් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩිඒට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 74.67ක් දක්වා ඩොලර් ශත 58කින් එනම් 0.77%ක ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් අනතුරුව ලොව පුරා බොරතෙල් සඳහා වන ඉල්ලුම මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඇතැම් අවස්ථාවකදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක් මට්ටමටද පත්විය. එසේම එය ඩොලර් 100ක් ඉක්මවනු ඇතැයි අදහස් පළ විය.

Visits: 298