වෛද්‍ය සජීව නාරන්ගොඩ කලම්බු සිටි හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක ධුරයට

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් වන කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වෛද්‍ය කාංචන සජීව නාරන්ගොඩ මහතා පත් කර ඇතැයි පවසයි.

මේ වන විට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩී.ඒ.බී. දසනායක මහතා ලබන අගෝස්තු 12 වැනිදා සිට සමාගමේ සියලුම සේවාවන්ගෙන් විශ්‍රාම ගැනීමත් සමගින්ම මෙම නව පත් කිරීම සිදු කෙරෙන බව සමාගම සඳහන් කරයි.

කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සජීව නාරන්ගොඩ මහතා 2017 වසරේ සිටම ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයත් සමගින් එක්ව කටයුතු කරයි. ඒ මහතා අද වනවිට එම සමූහයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මීට අමතරව එම සමූහයට අයත් දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙන්ම මිලේනියම් අයිටී සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන්නේද ඒ මහතාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත ශල්‍ය වෛද්‍ය උපාධියක් හිමි කරගෙන ඇති ඒ නාරන්ගොඩ මහතා පසුව එක්සත් රාජධානියේ කීලිසි විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය සහ කළමනාකරණය පිළිබඳ MSc උපාධියක් හිමි කරගෙන ඇත. ඒ මහතා එක්සත් රාජධානියේ කළමනාකරන ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

ඒ මහතා දශක දෙකකට අධික කාලයක් බ්‍රවුන්ස් හොස්පිටල්ස් ලිමිටඩ් (අද වනවිට මෙල්සිටා හොස්පිටල්ස්) හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස මෙන්ම හේමාස් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කර ඇත.

Visits: 181