පාම් ගාර්ඩන් හොටෙල් තවත් දෙස් විදෙස් ලෙෂර් වත්කම් මිලදී ගැනීමේ සාකච්ඡාවල

LOLC සමූහයේ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් පෞද්. සමාගමට අයත් පාම් ගාර්ඩන් හොටෙල් පීඑල්සී සමාගම මෙරට සහ විදේශීය හෝටල් සහ රිසෝට් ඇතුළු ලෙෂර් අංශයේ වත්කම් කිහිපයක්ම මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ඒවායේ හිමිකරුවන් සමගින් සාකච්ඡා කරමින් පවතින බව පවසයි.

ආසන්න දින කිහිපයේදී පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම වත්කම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳව මේ වනවිට එම සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත්, මේ දක්වා එහි අවසන් තීරණයක් වෙත පැමිණ නැති බවත් පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා යම් ලෙසකින් එකඟතාවකින් අවසන්වීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරන බවත් පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

එසේම සමාගමේ කොටස් වටිනාකම් සම්බන්ධයෙන් වන වඩාත් සංවේදී තොරතුරු සියල්ලක්ම මේ වනවිට අනාවරණය කෙරී ඇති බවත් එම සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

අද වනවිට පාම් ගාර්ඩන් හොටෙල්ස් යටතේ පරිපාලිත සමාගම් ලෙස රිවෙරිනා රිසෝට්ස් (පෞද්) සමාගම, කොන්ෆිෆි මැනේජ්මන්ට් සර්විසස් (පෞද්) සමාගම සහ කොන්ෆිෆි හොටෙල් සප්ලයිස් ලිමිටඩ් යන සමාගම් ක්‍රියාත්මක වෙයි.

Visits: 384