කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවිමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 27 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 06 වැනිදා නම් කෙරී තිබේ.

කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය බවද කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සඳහන් කරයි. ඒ අනුව ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමටත් කටයුතු යොදා තිබේ.

ඊයේ (ජුලි 13දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙුන නිමාවේදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 25.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 26.10ට සාපේක්ෂව ශත 60කින් එනම් 2.30%කින් පහත වැටීමකි.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ඇත්තේ B G Investments (PVT) Ltd නම් සමාගමක් වෙතයි. එය 41.67%ක ප්‍රතිශතයකි. මීට අමතරව තායිලන්තයේ ගෘප් ලීස් හෝල්ඩිංග්ස් නම් සමාගමකට එහි 29.99%ක කොටස් හිමිකමක් සහිතය.

Visits: 284