මෙරට හරිත ව්‍යාපෘති සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ ආයෝජන ණය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන හරිත ව්‍යාපෘති සඳහා ආයෝජන ණය ලබා දීමට අවධානය යොමු කරන බව යුරෝපා ආයෝජන බැංකුව (EIB) පවසයි. පසුගියදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පැවැත් වූ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

බෙල්ජියම, ලක්ෂම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය සහ යුරෝපීය ආයෝජන බැංකුවේ නිලධාරීන්, එනම්, ආසියා සහ පැසිෆික් කලාපයේ රාජ්‍ය ණය මෙහෙයුම් අංශයේ අංශ  ප්‍රධානී එඩ්වාඩස් බම්ස්ටේනස් මහතා, දකුණු ආසියාව සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ කලාපීය නියෝජන ප්‍රධානී ඩොනල් කැනන් මහතා, දකුණු ආසියාවේ රාජ්‍ය ණය මෙහෙයුම් පිළිබඳ ණය නිලධාරී කැට්රින් බොක් මහත්මිය මීට සහභාගි වී ඇත.

ඊට අමතරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) විශාකා අමරසේකර මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර්ය එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා, ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ද මෙම හමුවට සහභාගී වී තිබේ.

යුරෝපීය ආයෝජන බැංකුවේ අරමුදල් ලබාගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති ව්‍යාපෘති යෝජනා සහ වඩාත් වැදගත් ලෙස, හරිත හා තිරසාර සංවර්ධනය, පිරිසිදු හා තිරසාර සාගර මූලාරම්භයන්, හරිත බැඳුම්කර සඳහා ආයෝජන, කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන කටයුතු යනාදී ක්ෂේත්‍රවල ණය ලබා දීමේ හැකියාව පිළිබඳව මෙම අතථ්‍ය රැස්වීමේ දී අවධානය යොමු වී තිබෙන බව තානාපති කාර්යාලය පවසයි.

එසේම බැංකුවේ හරිත සංකල්ප වැඩසටහන යටතේ අරමුදල් සම්පාදන ක්‍රම පිළිබඳව පැහැදිලි කරමින්, යුරෝපීය ආයෝජන බැංකුවේ ආයෝජන ණය මගින් ලබා ගත හැකි අරමුදල් සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති යෝජනා සලකා බැලීම සඳහා පවතින සූදානම පිළිබඳව යුරෝපීය ආයෝජන බැංකුවේ නිලධාරීන් පෙන්වා දී තිබේ.

Visits: 185