SDB දෙවැනි හිමිකම් නිකුතුවෙන් පසුව 10%ක කොටසක් බෙල්ජියානු ආයෝජන සමාගමකට

සණස සංවර්ධන බැංකුව මගින් සිදු කිරිමට සැලසුම් කර ඇති සිය දෙවැනි හිමිකම් නිකුතුවෙන් (SPO) අනතුරුව සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය අතරින් 10%ක් අත්පත් කරගැනීමට සංවර්ධන වෙමින් පවතින රටවල් සඳහා වන බෙල්ජියානු ආයෝජන සමාගමක් (BIO – Belgian Investment Company for Developing Countries) කැමැත්ත පළ කර ඇතැයි එම බැංකුව අනාවරණය කරයි.

පසුගියදා එම සමාගම මගින් මේ පිළිබඳව සිය උනන්දුව ප්‍රකාශ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දෙවැනි හිමිකම් නිකුතුව සඳහා යම් ස්ථිර ආයෝජනයක් සිදු කරන ආයෝජකයෙකු (Cornerstone Invester) ලෙස ඉදිරිපත්වීමේ අවස්ථාවද බැංකුව විසින් එම සමාගම වෙත ලබා දීමට තීරණය කර ඇත.

එසේම පසුගිය සිකුරාදා (09) දිනයේදී බැංකුව එම BIO සමාගම සමගින් ආයෝජන එකඟතාවකටද පිවිස ඇති අතර, එහිදී පෙර සඳහන් කළ ආකාරයට මෙම දෙවැනි හිමිකම් නිකුතුවෙන් අනතුරුව සමාගම මගින් නිකුත් කර ඇති ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙන් 10%ක් එම සමාගම වෙත වෙන් කෙරෙන බවට එම එකඟතාව තුළ සටහන්ව ඇත.

අද වනවිට සණස සංවර්ධන බැංකුව (SDB) බැංකුව මගින් කිතුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 91,576,032 කි. එසේම ඉදිරියේදී සිදු කිරීමට නියමිත මෙම දෙවැනි හිමිකම් නිකුතුව හරහා ඉදිරිපත් කිරීමට යෝජිත කොටස් ප්‍රමාණය කොටස් 88,000,000 කි (මිලියන 68ක් සහ මිලියන 20ක් බැගින් අවස්ථා දෙකකදී). ඒ අනුව මෙම නිකුතුවෙන් අනතුරුව බැංකුව මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 179,576,032 ක් බවට පත් වෙයි.

මෙහිදී බෙල්ජියානු ආයෝජන සමාගම මගින් මෙලෙස මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇත්තේ එම කොටස් ප්‍රමාණයෙන් (179,576,032න්) 10%ක් එනම් 17,957,700 කි. එහිදී මෙම දෙවැනි හිමිකම් නිකුතුවේදී කොටසක අගය ලෙස සඳහන් කර තිබෙන රුපියල් 51.50 බැගින් මෙම මිලදී ගැනීමට එම සමාගම කැමැත්ත පළ කර තිබෙන බවත්, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 924,821,550ක් වන බවත් පැවසෙයි.

මේ ආකාරයට අදාළ ආයෝජන සමාගම මගින් යෝජනා කර ඇති මිලදී ගැනීම සම්පූර්ණ වුවහොත් සහ මෙම හිමිකම් නිකුතුව සඳහා සම්පූර්ණ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එය මෙම දෙවැනි හිමිකම් නිකුතුවෙන් ආසන්න වශයෙන් 20%ක ප්‍රතිශතයක් ගන්නා බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

2001 වසරේ දෙසැම්බර් මාසයේ 09 වැනිදා බෙල්ජියානු රාජධානියේ නීතිය යටතේ මෙම BIO සමාගම ස්ථාපිත කර තිබේ. එරට බ්‍රසල්ස් නුවර Boulevard Bisschoffsheimlaan 15, 1000 යන ස්ථානයේ මෙම සමාගම පිහිටා ඇත. මෙය බෙල්ජියානු රජයට පූර්ණ හිමිකාරීත්වය සහිත එහි අරමුදල් යොදවන සංවර්ධන මූල්‍ය ආයතනයක් ලෙස සැලකෙයි. එසේම එය යුරෝපියානු සංවර්ධන මූල්‍ය ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

මේ අතර මෙම BIO සමාගම මගින් සණස සංවර්ධන බැංකුවෙහි දෙවැනි හිමිකම් නිකුතුව සඳහා සිදු කරන ආයෝජනය, එම සමාගම මගින් 2019 වසරේදී බැංකුවෙහි අදියර 2 ප්‍රාග්ධනය සඳහා සිදුකළ ලැයිස්තුගත නොවූ අප්‍රධාන යටතේ වූ ණය සඳහා සිදු කර ඇති එක්සත් ජනපද ඩොලර් මිලියන 8ක ආයෝජනයට අමතරව සිදු කරන්නක් බවත් බැංකුව සඳහන් කරයි.

එසේම සණස සංවර්ධන බැංකුව මගින් සිදු කිරිමට යෝජිත මෙම දෙවැනි හිමිකම් නිකුතුව පිළිබඳ දිනයක් තවමත් ප්‍රකාශයට පත් කෙරී නැති බවත්, එම දිනය ඇතුළුව ඊට අදාළ සංස්ථා ප්‍රකාශනය සහ ඉල්ලුම්පත්‍ර ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සණස සංවර්ධන බැංකුව සැලසුම් කර ඇති මෙම දෙවැනි හිමිකම් නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.5 කි.

Visits: 324