RIL Property සමාගම පෑන්ඒෂියන් පවර් පීඑල්සී මිලදී ගත්තේ රු.බිලියන 1.7කටලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත RIL Property PLC සමාගම ඊයේ (09දා) දිනයේදී පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමෙහි කොටස් 385,469,645ක් මිලදී ගනිමින් එම සමාගමේ 61.68%ක හිමිකාරීත්වයක් අත්පත් කරගත් බව පවසයි.

මෙහිදී කොටසක් රුපියල් 4.30 බැගින් මෙම මිලදී ගැනීම සිදුව ඇති අතර, එම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.7ක් (1,657,519,473.50ක්) ලෙස සටහන්ව ඇත.

ඊයේ සිදු වුණූ මෙම කොටස් අත්පත් කර ගැනීමේදී RIL Property PLC සමාගම මගින් පෑන්ඒෂියන් පවර් පීඑල්සීහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් වූ පානදුර ලියනගේ ඩිලන්ක ජිනදාස මහතා සතුව තිබූ කොටස් 146,692,886ක් (23.47%ක්), ජිනදාස සහෝදරයෝ (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 16,466,152ක් (2.63%ක්), එමරල්ඩ් ශ්‍රී ලංකා ෆන්ඩ් 1 ලිමිටඩ් සතුව තිබූ කොටස් 125,000,000ක් (20.00%ක්) සහ සෙලාන් බැංකුව/සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව තිබූ කොටස් 97,310,607ක් (15.57%ක්) මිලදී ගැනීම සිදුව තිබේ.

මේ අතරින් පානදුර ලියනගේ ඩිලන්ක ජිනදාස මහතා පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම ජිනදාස සහෝදරයෝ (පෞද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද කටයුතු කර ඇත.

මේ අතර පෑන්ඒෂියන් පවර් පීඑල්සී සමාගමෙහි ඉතිරි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 239,530,355ක් එනම් 38.32%ක ප්‍රතිශතයක් ඒවායේ හිමිකරුවන්ගෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී කටයුතු කරන බවත් RIL Property PLC සමාගම සඳහන් කරයි.

එහිදීද රුපියල් කොටසකට රුපියල් 4.30ක් බැගින් ගෙවන බවත්, එය මෙම අත්පත් කරගැනීම සිදු වූ දිනයේ සිට මාස 12ක කාලයක් ඇතුළතදී පෑන් ඒෂියා පවර් පීඑල්සී සමාගමේ පැවැති ඉහළම කොටස් අගය ලෙසින්ද RIL Property PLC සමාගම සඳහන් කරයි.

2009 වසරේදී පිහිටවුණු RIL Property PLC සමාගම 2016 වසරේදී ලැයිස්තුගත සමාගමක් බවට පත්විය. අද වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ වාණිජ කාර්යාලය අවකාශ සංවර්ධනය සහ කළමනාකරණය ඇතුළු සේවාවන් සිදු කරන බව එම සමාගම පවසයි.

පාර්ක්ලෑන්ඩ් සමාගම, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම මෙම RIL Property PLC යටතේ ක්‍රියාත්මක වෙයි. සමාගම මගින් ක්‍රියාත්මක කළ බේකරි නිෂ්පාදන ඇතුළත් අලෙවි සැල් ජාලයක් වන BreatTalk පසුගියදා රුපියල් මිලියන 245ක මිලකට අලෙවි කෙරිණී.

Visits: 521