2021 පළමු කාර්තුවේදී 4.3% ක ආර්ථික වර්ධන වේගයක්

2021 වසරේ පළමු කාර්තුවේදී (ජනවාරි 01 සිට මාර්තු 31දක්වා) මෙරට ආර්ථිකවර්ධන වේගය 4.3%ක් ලෙස වාර්තා වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  එම කාලසිමාවට අදාළ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

මෙය 2020 පළමු කාර්තුවේදී වාර්තා කළ 1.8%ක ඍණ ආර්ථික වේගය හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව 2020 වර්ෂයේපළමු කාර්තුවේදී පසුබෑමට ලක් වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමක් මේ හරහා පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී 2020 වර්ෂයේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,295,432ක් ලෙස වාර්තා වන බවත්, 2021 වර්ෂයේ පළමු කාර්තුවේදී එය රුපියල් මිලියන 2,393,922ක් ලෙස වාර්තා වී ඇති බවත් සඳහන් වෙයි.

එසේම පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,844,079ක් ලෙස වාර්තා වී ඇති අතර, 2021 වර්ෂයේ පළමු කාර්තුවේදී එය රුපියල් මිලියන 4,173,783ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය 8.6%ක ඉහළ යෑමක් වාර්තා කර තිබේ.

“2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ල 2021 වර්ෂයේ පළමුවන කාර්තුවෙහි ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහිද යම් බලපෑමක් ඇති කෙරිණි. සංචාරක ව්‍යාපාරය, විනෝදාස්වාදන කටයුතු වැනි ක්‍රියාකාරකම් කිහිපයක් හැරුණු විට, බොහෝමයක් ව්‍යාපාර සහ ආර්ථික කටයුතු කොවිඩ් දෙවන රැල්ලෙහි බලපෑම මධ්‍යයේ පැන වූ සීමා කිරීම් යටතේ වුවද, නොකඩවා ක්‍රියාත්මක වීම සිදුවිය.” දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද රටෙහි ජන ජීවිතය නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාත්මකවීම තුළින් බොහෝ ආර්ථික කටයුතුවල හැසිරීම සතුටුදායක මට්ටමක පැවතීම 2021 වර්ෂයේ පළමුවන කාර්තුව මුළුල්ලේ නිරීක්ෂණය කළ හැකි වූ බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී ආර්ථිකයේ ප්‍රධාන සංරචක හතර වන කෘෂිකර්මාන්තය, කර්මාන්, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු යනාදීය 2021 පළමු කාර්තුවේදී පවත්නා මිල ගණන්යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දැක් වූ දායකත්වය පිළිවෙලින් 7.8%ක්, 29.2%ක්, 57.4%ක් සහ 5.7%ක් ලෙස වාර්තා වෙයි.

Visits: 241