සතොස Gills සොසේජස් වෙළෙඳ පොළට

රජයට අයත් සතොස වෙළෙඳ සැල් සන්නාමය යටතේ සොසේජස්, මීට්බෝල්ස්, නගට්ස්, ඩ්‍රම්ස්ටික්ස් ඇතුළු ආහාර නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම පසුගියදා සිදු විය. දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත සෝසේජස් නිෂ්පාදන සැපයුම් සිදු කරන Gills සමාගම හා පැමිණි එකඟතාවකට අනුව මෙම නිෂ්පාදන ඉදිරිපත්ව තිබේ.

සතොස Gills ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදන එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස සමාගමේ සහ Gills ආයතනයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය. දිවයින පුරා පිහිටි සතොස සුපිරි වෙළෙඳ සැල් ජාලය හරහා මෙම සතොස Gills නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි.

2004 වසරේදී මුහුදු ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ලෙස ආරම්භ වුණු මෙම Gills International සමාගම, Gills Sea Food නාමය යටතේ මාළු සොසේජස් සහ මාළු බෝල නිෂ්පාදනයේ යෙදී ඇත. පසුව 2006 දී එය ගිල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් (පෞද්) සමාගම ලෙස නම් වෙනස් කර තිබේ.

අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා වෙත සැකසූ මස් ආහාර සැපයුම් වෙළෙඳපොළෙන් 50%ක් හිමි කරගැනීමට Gills සන්නාමයට හැකියාව ලැබී ඇතැයි පවසයි.

පවුලේ ව්‍යාපාරයක් වන Gills International හි නිර්මාතෘවරයා වන්නේ ජී.ජී. ඩි සොයිසා මහතාය. ඒ මහතා සමාගමේ වත්මන් සභාපතිවරයාද වන අතර, අන්ද්‍රෙයි ඩි සොයිසා සහ ඩිලෝෂනී ඩි සොයිසා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 100