රු.බිලියන 2.5ක SMB ලීසිං හිමිකම් නිකුතුවේදී බිලියන 2.1ක් රැස්වෙලා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන SMB ලීසිං පීඑල්සී සමාගම පසුගියදා සිදුකළ සිය හිමිකම් කොටස් නිකුතුව සඳහා කැපී පෙනෙන දායකත්වයක් හිමි වූ බව එම සමාගම පවසයි.

ඒ අනුව රුපියල් බිලියන 2.5ක් (රුපියල් 2,454,031,151.60ක්) රැස් කරගැනීම සඳහා සිදුකළ මෙම හිමිකම් කොටස් නිකුතුවේදී රුපියල් බිලියන 2.1ක් (2,143,617,409.92ක්) වටිනා කොටස් මිලදී ගැනීමක් සිදු වුණු බව එම සමාගම සඳහන් කරයි.

මෙම හිමිකම් නිකුතුවේදී SMB ලීසිං පීඑල්සී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5,958,833,860ක්ද සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 3,070,330‍්,505ක්ද නිකුත් කර තිබුණි.

මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් ශත 35ක් බැගින්ද, නිෂ්ඡන්ද කොටසක් ශත 12ක් බැගින්ද මිල කෙරී තිබුණි.

ඒ අනුව මෙහිදී ඉල්ලුම්පත්‍ර 126ක් හරහා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5,278,608,276ක්ද, ඉල්ලුම්පත්‍ර 242ක් හරහා සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 2,467,537,611ක්ද මිලදී ගැනීමක් සිදු කර ඇතැයි SMB ලීසිං පීඑල්සී සමාගම අනාවරණය කර සිටියි.

මෙම නිකුතුව සිදුවන අවස්ථාවේදී SMB ලීසිං පීඑල්සී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 919,064,114ක් ලෙස සටහන්ව තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දී ඇති උපදෙස් අනුව මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය ආයතන මගින් පවත්වා ගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් පූර්ණ කිරීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බවද SMB ලීසිං පීඑල්සී සමාගම මෙම නිකුතුව අවස්ථාවේදී සඳහන් කර තිබුණි.

2021 මාර්තු 31 වැනිදා වනවිට SMB ලීසිං පීඑල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් හිමිකාරීත්වය අතරින් 22.55%ක් සම්පත්බැංකුව හරහා ටී සෙන්තිවර්ල් මහතා වෙත හිමිව තිබේ. එසේම 16.35%ක් රවී විජේරත්න මහතාටත් තවත්  8.76ක් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට හිමිය. මීට අමතරව තවත් 7.20%ක ප්‍රතිශතයක් සෙලාන් බැංකුව හරහා සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් පෞද් සමාගමට හිමිය.

එම දිනය වනවිට සමාගමේ නිෂ්ඡන්ද කොටස් අතරින් 7.85ක් ආර්. ගෞතම් මහතාටත්, 6.54%ක ප්‍රතිශතයක් සම්පත් බැංකුව හරහා ටී සෙන්තිවර්ල් මහතාටත් හිමිව ඇත. එසේම තවත් 5.11%ක ප්‍රතිශතයක් එච්.කේ. පුෂ්පකුමාර මහතාට සහ 2.89%ක් එම්.එල්.ඒ. බෙනඩික්ට් මහතාටත් හිමිව ඇත.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න මහතා SMB ලීසිං පීඑල්සී සමාගමේ සභාපතිවරයාය. 2013 වසරේදී ඒ මහතා සභාපති ධුරයට පත්විය.

Visits: 429