සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් සහ LOLC සමූහයේ සමාගම් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක්

කැනඩාවේ වැන්කූවර්හි පිහිටි සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් (සිලෝන්) සමාගම නව ව්‍යපාරික අවස්ථාවන් සහ නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කරමින් LOLC සමූහයෙහි පරිපාලිත සමාගම් දෙකක් සමගින් අවබෝධතා ගිවිසුමකට පිවිස ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් සමාගමේ පරිපාලිත සමාගමක් වන Plumbago Refining Corp. B.V. සමාගම සහ LOLC GEO Technologies Ltd. සහ LOLC Advanced Technologies Ltd. යන සමාගම් සමගින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ.

මෙම එකඟතාව හරහා දැනට සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් සමාගම සතුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පතල් කළඹෙන් පරිබාහිරව නව මිනිරන් පතල් සංවර්ධනය සඳහා එකට එකතුව ක්‍රියාත්මක වීම සැලසුම වී තිබේ. එසේම ශ්‍රී ලංකාව තුළ නවීනතම තාක්ෂණයෙන් යුතු මිනිරන් සැකසීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමත් මෙම සැලසුම් අතර පවතී.

ශ්‍රී ලංකාවෙන් මත් කරගන්නා මෙම මිනිරන් ලොව ඉතාමත් පිරිසිදු මිනිරන් ලෙස පිළිගැනීමට ලක්ව තිබෙන අතර, ඒවා ඉහළ ඉල්ලුමක් පවතින විදුලි වාහන සහ බැටරි නිෂ්පාදන වෙළෙඳ පොළ ඇතුළු විවිධ උපාංග නිෂ්පාදනය සඳහා වඩාත් හොඳින් යොදා ගත හැකි බවත් පැවසෙයි. මීට අමතරව ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සහ තීන්ත සහ ආවරණ ආලේපන (කෝටිං) ක්ෂේත්‍ර වෙතත් වැදගත් වන බවත් සඳහන් වෙයි.

අත්සන් තැබුණු මෙම එකඟතාවට අනුව සිලෝන් ග්‍රැෆයිට් කෝපරේෂන් වෙත සහ LOLC වෙත රජයට අයත් කහටගහ මිනිරන් පතල ආශ්‍රිතව තවත් අවම වශයෙන් පතල් තුනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙයි. මෙම ප්‍රදේශය ඉතා ඉහළ ගුණාත්මකබවකින් යුත් මිනිරන්වලින් පොහොසත් බවට හඳුනාගෙන ඇත. මෙම මිනිරන්වල Cg (අඩංගු සමස්ත කාබන් ප්‍රමාණය) ප්‍රතිශතය 98%ක් පමණ වන බවත් පැවසෙයි.

මේ අතර අදාළ අවබෝධතා ගිවිසුමට අනුව සිලෝන් ග්‍රැෆයිට් සමාගම මගින් LOLC GEO Technologies Ltd. සමාගමෙහි 10%ක කොටසක් මිලදී ගන්නා බවත්, එය 40%ක් දක්වා ඉහළ නංවා ගැනීමේ අවස්ථාවක්ද පවතින බවත් සඳහන් වෙයි. මෙහිදී පිහිටුවෙන නව පතල් සඳහා අරමුදල් සම්පාදනය Pro-rata ක්‍රමය අනුව සිදු කෙරෙන බවත්, ඒවා පවත්වාගෙන යාම සිලෝන් ග්‍රැෆයිට් මගින් සිදු කරනු ඇති බවත් පැවසෙයි. එසේම මෙම පතල් මගින් සිදු කරන සියලුම නිෂ්පාදන ඉදිරි කටයුතු සඳහා රැගෙන යන බවටත් එම සමාගම එකඟවී තිබේ.

මීට අමතරව මෙම එකඟතාව යටතේ සිලෝන් ග්‍රැෆයිට් සහ LOLC එක්ව මෙරට තුළ ග්‍රැෆයිට් නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමක් සිදු කළ හැකි පරිශ්‍රයක් ඉදි කරන බවත්, ඒ හරහා මෙම නිෂ්පාදන තවදුරටත් 99.99%ක්ම පිරිසිදු තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවත් පැවසෙයි.

එසේම මෙම අවබෝධතා ගිවිසුම යටතේ LOLC සමාගම මගින් සිලෝන් ග්‍රැෆයිට් සමාගමේ 15%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහාත් කැමැත්ත පළ කර ඇතැයි පැවසෙයි. එහිදී දෙපාර්ශ්වයම එකිනෙකාගේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා දෙමුහුන් ක්‍රමයට පත්වීම් සිදු කිරීමටත් එකඟවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සිලෝන් ග්‍රැෆයිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩොන් බැක්ස්ටර්, “ඉෂාර නානායක්කාරයේ නායකත්වයෙන් යුත් LOLC සමූහයත් සමගින් මෙම ඒකාබද්ධතා ගිවිසුමට පිවිසීමට ලැබීම ගැන අපි වඩාත් සතුටට පත් වෙනවා. ඔහු ආසියාවේ වඩාත් පිළිගැනීමට ලක් වුණු ව්‍යාපාරික නායකයෙක්. ඔහුගේ සුවිශේෂී දැක්ම සිලෝන් ග්‍රැෆයිට් සමාගමේ ඉදිරි ඉලක්ක සමගින් ඉතාමත් හොඳින් ගැලපෙනවා.” යනුවෙන් පවසා ඇත.

LOLC  සමූහයට අයත් පතල් කැනීමේ හස්තය ලෙස LOLC GEO Technologies Ltd සමාගම ක්‍රියා කරයි. එම සමාගම දැනටමත් භූ විද්‍යා සහ පතල් කාර්යාංශයෙන් කැණීමේ බලපත්‍ර කිහිපයක්ම හිමිව තිබේ. එසේම LOLC Advanced Technologies Ltd. සමාගම එම සමූහයේ පර්යේෂණ හස්තය ලෙසින් කටයුතු කරයි.

Visits: 713