රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂගෙන් හිස් වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය මොහොට්ටාල සහ ලලිත් විතාන

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇතැයි නිවේදනය කරයි.

රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. මෙම පත්වීම් ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) අනුමැතියට යටත් වේ.

සංජය ඩබ්ලිව්. මොහොට්ටාල මහතා සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෲප් (Boston Consulting Group in Singapore) හි කළමනාකාර අධ්‍යක්ෂ හා හවුල්කරුවෙකු ලෙස සේවය කරන අතර සමාගමේ සම්පත් යෙදවීම, සේවාදායක කළඹ කළමනාකරණය (client portfolio management), පුහුණුවීම් ක්ෂේත‍්‍රයන් සංවර්ධනය සහ මානව සම්පත් සංවර්ධනය යන වගකීම් දරයි. මෙහෙයුම් මට්ටමින් ඔහු ප‍්‍රධාන ආයෝජකයින්ට සහ පුද්ගලික කොටස් (PIPE) සේවාදායකයින්ට, සවරීන් වෙල්ත් ෆන්ඞ් (Sovereign Wealth Fund – SWF), ගෝලීය බහුජාතික (global MNCs) සමාගම්වලට, කලාපීය සහ දේශීය සමාගම්වලට තම උපදේශන සේවාව ලබා දෙනු ලබයි. M&A ආයෝජන, ආයතනික සංවර්ධනය (Corporate development), උපාය මාර්ග, නැවත සංවිධානය කිරීම, go-to market, ඩිජිටල් ව්‍යාපාර සහ මහා පරිමාණ ප‍්‍රතිව්‍යුහගතකරණය ආදි ක්ෂේත‍්‍ර පිළිබඳ පුළුල් අත්දැකීම් ඔහුගේ ප‍්‍රවීණත්වය තවදුරටත් තහවුරු කර ඇත.

මොහොට්ටාල මහතා ව්‍යවසායකත්ව හා උපාය මාර්ග පිළිබඳ MBA උපාධිය ලබාගත්තේ කීර්තිමත් UCLA ඇන්ඩර්සන් කළමනාකරණ පාසලෙනි. ඔහු ශ‍්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබ B.Sc උපධියක් ද එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයෙන් කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ඔහු ලබා ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි අධ්‍යක්ෂ මණ්ඩලට අලූතෙන් පත්වූ දෙවන සාමාජිකයා වන ලලිත් විතාන මහතා සමාගම් සංවර්ධනය (organization development), ව්‍යාපාර පරිවර්තනය, මූල්‍ය, මානව සම්පත්, නිෂ්පාදන, සැපයුම් දාමය, වෙළඳපොල සංවර්ධනය, රාජ්‍ය අංශය සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති ඉහළ සුදුසුකම් ලත් ගෞරවනීය කළමනාකරණ උපදේශකයෙකි. විතාන මහතා ABN – ඇම්රෝ, IBM, අර්න්ස්ට් ඇන්ඞ් යන්ග් (Ernst & Young) යමහා  (Yamaha – ඇමරිකා එක්සත් ජනපදය), කාර්සන් කම්බර්බැච් (Carson Cumberbatch), බ‍්‍රැන්ඩික්ස්, සිලෝන් ටී සර්විසස් සහ ශ‍්‍රී ලංකා ගුවන් සමාගම් වැනි බහුජාතික සමාගම් කිහිපයක්ම ඉහළ කාර්ය සාධනයක් ලබා ගැනීම කරා මෙහෙයවීමට දායකත්වය ලබා දී තිබේ. ඔහු ලංකා බැංකුව, සෙලාන් බැංකුව, දංකොටුව පෝසිලේන් ලිමිටඞ් සහ මර්චන්ට් බැංකුවේද  අධ්‍යක්ෂ ධුර හොබවා ඇත.

විතාන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සම්මානිත ව්‍යාපෘති කළමනාකරණ ආයතනයෙන් PMP සහතිකයක් ලබා ඇති අතර එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් BA (ගෞරව) උපාධියක් සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇත. තවද, ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු මෙන්ම ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.

මෙම නව පත්වීමත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලය අශෝක් පතිරගේ (සභාපති), ඉෆ්තිකාර් අහමඞ් (කළමනාකාර අධ්‍යක්ෂ), හරේෂ් කයිමාල්, ෆර්නැන්ඩා ලීමා, රේමන්ඞ් ස්නයිඩර්ස්, විෂ් ගෝවින්දසාමි, සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන යන අයගෙන් සමන්විත වේ.

Visits: 240