පෑන් ඒෂියා පවර් ගනුදෙනුව වෙළෙඳපොළ ශක්තිමත් කරයි

අද (ජූලි 09) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු උදාසීන ගතියකින් ආරම්භ වුවත්, පෑන් ඒෂියා පවර් පීඑල්සීහි සිදු වුණු ගනුදෙනුවත් සමගින්ම වෙළෙඳ පොළ වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම සියලු පුවරු තුළ කොටස් මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම එක්පෝලංකා හෝල්ඩිංග්ස්, එල්ඕඑල්සී සමූහයේ සමාගම් තුළ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා දායකත්වය ලබා දී තිබේ.  

මේ අතර පිට පිට තෙවැනි දිනයටත් අද දිනයේදී හැටන් නැෂනල් බැංකුව තුළ විදේශ ආයෝජන පිටතට ගලායෑමක් දැකගත හැකි වූ බවත් එම තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,819.29ත් ඒකක 7,865.68ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,852.19ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 08) දිනයට සාපේක්ෂව ඒකක 40.58ක් එනම් +0.52%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු පෑන්ඒෂියා පවර් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, ටීජේලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද) යන ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 58%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 104ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 78ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිරි ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+8.64), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+5.63), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.86), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.73), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+3.56), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-2.29), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.08), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-1.66), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-1.61), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.0යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,979.01ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 08දා) ‍ට සාපේක්ෂව ඒකක 23.13 ක එනම් 0.78%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 08දා) වාර්තා කළ රුපියල් බිලියන 1.24ට සාපේක්ෂව 178% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.48ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.43%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 152.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 935.7ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 783.26කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 28.47ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 57.28 කි. එසේම පෑන් ඒෂියා පවර් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 537.56ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,727ක් සඳහා උපයෝගිතා අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 50%කි. එසේම බැංකු සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 413ක සහ රුපියල් මිලියන 277ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 367