SDB බැංකුවේ දෙවැනි කොටස් නිකුතුවට CSE අනුමැතිය

සණස සංවර්ධන බැංකුව (SDB) නිකුත් කිරීමට සැලසුම් කර තිබූ සිය දෙවැනි මූලික කොටස් නිකුතුව (SPO) සඳහා කොළඹ කොටස් හුවමාරුව මගින් ඊයේ (ජූලි 07 දා) අනුමැතිය ලබා දුන් බව එම බැංකුව පවසයි.

ඒ අනුව පළමු නිකුතුව ලෙස බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 68ක් (68,000,000ක්) ලැයිස්තුගත කිරීම සඳහා මෙන්ම, ඊට හිමිවන අධි ඉල්ලුමත් සමගින් දෙවැනි අවස්ථාව ලෙස තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීම සඳහා වන සංස්ථා ප්‍රකාශය නිකුත් කිරීමට මේ හරහා අවසරය හිමි වුණු බව SDB බැංකුව සඳහන් කරයි.

මෙහිදී එක් කොටසක් රුපියල් 51.50ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා සිදු කරන කොටස් 88,000,000 නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.533ක් වන බවත් බැංකුව අනාවරණය කරයි.

ඒ අනුව පළමු ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 3.5ක් (3,502,000,000ක්) සහ දෙවැනි ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 1.0ක් (1,030,000,000ක්) රැස් කරගැනීම අරමුණ බව සඳහන් වෙයි.

මේ අතර මෙම දෙවැනි කොටස් නිකුතුව ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමක් සිදු කරන බවද SDB බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

මෙම දෙවැනි කොටස් නිකුතුව පසුගිය ජූනි මාසයේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණත්, එය ජූලිමාසය දක්වා කල් ගොස් තිබේ. පසුගිය මාසයේදී නිකුත් වුණු SDB බැංකුවෙහි වාර්ෂික වාර්තාවට අදහස් දක්වා සිටි එහි සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, “මෙම නිකුතුව හරහා හිමිවන ප්‍රාග්ධන පදනම ICRA Lanka වර්ගීකරණ ආයතනය සහ Fitch Ratings ආයතනය මගින් බැංකුව සඳහා නිකුත් කර ඇති BBB- වර්ගීකරණය සහ BB- වර්ගීකරණ මට්ටම් එලෙසින්ම රඳවාගෙන යාමට හැකියාව ලැබේවි. එය 2020 වසරේ සාර්වආර්ථික කඩාවැටීම්වලට එදිරිව යමින් බැංකුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් වේවි.” යනුවෙන් සඳහන් කර තිබේ.

Visits: 162