යුනිලිවර් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 10ක ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන (FMCG) අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා රුපියල් මිලියන 10ක වටිනාකමින් යුත් ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල 32ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ බව පවසයි.

ඒ වර්තමාන වසංගත තත්වය වෙනුවෙන් රජයට සහාය දැක්වීමේ සිය ප්‍රයත්නයට තවත් ඉදිරි පියවරක් තබමිනි. මෙම ඒකාබද්ධ වීම තූළින් ඔක්සිජන් අවශ්‍යතාව සහිත රජයේ රෝහල් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක කට්ටල ලබා දීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරනු ඇත.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රවර්ධන අධ්‍යක්ෂ – අරුණ මාවිල්මඩ, නීති ප්‍රධානී හා සමාගම් ලේකම් – ලක්සර මාරපන, සහ මාධ්‍ය හා ප්‍රවර්ධන ප්‍රධානී – චන්න තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් විසින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පුද්ගලික ලේකම් – කාංචන ජයරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය අසේල ගුණවර්ධන, ජෛව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – ජනප්‍රිය කරුණාතිලක සහ සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ – වෛද්‍ය කපිල කන්නංගර යන මහත්වරුන් ඉදිරිපිටදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් – වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත එම පරිත්‍යාගයන් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් – වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, යුනිලිවර් ආයතනය දැක්වූ දායකත්වය පිළිබඳව සිය ස්තුතිය පුද කර සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මෙම වසංගත සමයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අඛණ්ඩව සහයෝගය දක්වමින් කටයුතු කිරීම පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයට අපගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. අපගේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සියලුම ආකාරයේ වෛද්‍ය ආධාර අවශ්‍යම මොහොතක ලද පරිත්‍යාගයක් ලෙස මෙම පරිත්‍යාගය සැළකිය හැකියි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙන් ලද මෙම නොමසුරු දායකත්වය සම්බන්ධයෙන් අපගේ ස්තුතිය නැවත නැවතත් පුද කර සිටින අතරම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තව දුරටත් ආධාර, උපකාර ලබා ගැනීම වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද පවසා සිටින ලදී.

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි – හජාර් අලෆිෆි මහත්මිය සඳහන් කර සිටියේ “මෙම පවතින තත්වය තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සඳහන් කළ හැකියි. වසර 83කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීමට ඇප කැප වූ සමාගමක් ලෙස, වර්තමානයේ පවතින වසංගත තත්වයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් සහාය ලබාදීම අපගේ යුතුකමක් බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා” යනුවෙනි.

2020 මාර්තු මාසයේ සිට මේ දක්වා COVID-19 සහන සේවාවන් වෙනුවෙන් රුපියල් මිලියන 60කට වැඩි මුදලක දායකත්වයක් දී ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය වෙළෙඳ නාමයන් තුළින් මහජන සුරක්ෂිතාව හා දැනුවත්භාවය පිළිබඳ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට කටයුතු කරමින් සිටියි.

Visits: 49