පිට පිට පස්වැනි දිනටත් කැපී පෙනෙන විදෙස් ආයෝජන පිටතට ගලා යෑමක්

අද (ජූලි 08) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු ඊයේ දිනයේදී මෙන් වඩාත් සාර්ථකව සිදු කෙරුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් දිනයේ අවසන් භාගයේදී ආයෝජක විශ්වාසය යම් තරමකින් අඩුවීමක්ද දැකගත හැකි වී තිබේ. එසේම අද දිනයේදී ආයෝජක සහභාගිත්වයද යම් පමණකින් අඩුවී ඇත. විශේෂයෙන්ම පිට පිට පස්වැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි විදෙස් ආයෝජන පිටතට ගලායෑමේ අවස්ථාවක් වාර්තා වීමක්ද සිදුව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,810.71ත් ඒකක 7,847.65ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,811.61ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 07) දිනයට සාපේක්ෂව ඒකක 2.23ක් එනම් +0.03%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 85ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 75ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+10.42), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+3.53), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+3.49), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+1.6), හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී HARI (+1.5), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-7.15), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-4.16), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.88), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-1.96), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.7යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,955.88ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 07දා) ‍ට සාපේක්ෂව ඒකක 19.47 ක එනම් 0.66%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 07දා) වාර්තා කළ රුපියල් බිලියන 1.36ට සාපේක්ෂව 8.4% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.46ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.82%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 234.61ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 467.64ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 223.03කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 27.68ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.18 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 173.54ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 488ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 39%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 160 ක සහ රුපියල් මිලියන 135ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 256