හෙළිදරව් නොකෙරූ ආදායම්/වත්කම් ආයෝජනයට යොදවන්නන්ට නඩු නෑලු

මෙතෙක් හෙළිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙළිදරව් කරමින් එම මුදල් ආයෝජනය කරන ආයෝජකයන් සඳහා ‘ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්දක්’ යනුවෙන් 1% ක නව බද්දක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරිණි. මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.   

මෙම යෝජනාව 2021 අයවැය මගින්ද ඉදිරිපත් කර තිබූ බව රජය පවසයි.

ඒ අනුව හෙලිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙලිදරව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් දිරි ගැන්වීම මෙහි අරමුණ වී තිබේ.

එහිදී සඳහා එවැනි ආයෝජකයින් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කොට 1%ක “ස්වේච්ඡාවෙන් හෙලිදරව් කිරීම මත බද්දක්” පමණක් ගෙවීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට අදාළව කටයුතු කරන බව රජය පවසයි.

රජය සඳහන් කරන ආකාරයට ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීම සඳහා 2021 පෙබරවාරි මස 22 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ති‍බේ. ඒ අනුව, සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අගමැතිවරයා මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇත.

Visits: 406