ලාෆ්ස් ගෑස් පීඑල්සී CEO ඉල්ලා අස්වෙලා නෑලු

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ චමින්ද දර්ශනප්‍රිය එදිරිවික්‍රම මහතා එම ධුරයෙන් ඉවත්ව නැතැයි එම සමාගම පවසයි. ඒ මහතා ඉවත්වී ඇත්තේ සමාගමේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් පමණක් බවද සමාගම පවසයි.

කෙසේ වෙතත් අද දහවල් 2.00 ට කොළඹ කොටස් හුවමාරුව වෙත නිවේදනයක් නිකුත් කර තිබූ ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම චමින්ද එදිරිවික්‍රම මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත්ව ඇතැයි සඳහන් කර තිබුණි.

එහෙත් එය සන්නිවේදන දෝෂයක් බවත් ඒ මහතා තවදුරටත් ලාෆ්ස් ගෑස් පීඑල්සී ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ කටයුතු කරනු ඇති බවත් එම සමාගම අද පස්වරු 5.51ට තවත් නිවේදනයක් සිදු කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙලෙස විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වන අවස්ථාව වන විට එදිරිවික්‍රම මහතා සතුව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

චමින්ද එදිරිවික්‍රම මහතා 2019 අප්‍රේල් 03 වැනිදා ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා පත් කෙරිණි. එතෙක් එම ධුරය දැරූ අෂාන් ද සිල්වා මහතා ඉන් ඉවත්වීමත් සමගින්ම මෙම ධුරය ඒ මහතා වෙත පිරිනැමුණි.

එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට චමින්ද එදිරිවික්‍රම මහතා ලාෆ්ස් ගෑස් පීඑල්සීහි පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ) සමාගමේ මෙහෙයුම් භාරව සිටි පුද්ගලයාද වෙයි.

ලාෆ්ස් සමාගම හා සම්බන්ධවීමට පෙරාතුව ඒ මහතා ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගමේ, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් සමාගමේ අලෙවි සහ අලෙවිකරණ/සාංගමික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ. එසේම ඒ මහතා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය සංවර්ධන සහ ඉදිකිරීම් සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ලිට්‍රෝ සමාගම සමගින් සම්බන්ධවීමට පෙර ඒ මහතා වැඩි කාලසීමාවක් බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම සහ එහි පරිපාලිත සමාගම් කිහිපයකම උප සභාපතිවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Visits: 138