JAT Holdings සමාගමේ Virtual ආයෝජක සමුළුව ජූලි 08 දා

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings මගින් ලබන ජූලි 20 වැනිදා සැලසුම් කර ඇති සිය ප්‍රථම මහජන කොටස් නිකුතුවට (Initial Public Offering – IPO) පෙර ජූලි 08 දින ආයෝජකයන් වෙනුවෙන් විශේෂ අතථ්‍ය සමුළුවක් (Virtual Forum) පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට එම සමුළුවට සහභාගී වන මෙන් සමාගම ආරාධනය කර සිටී.

www.ipo.jatholdings.com වෙත පිවිසීමෙන් මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය (prospectus) පරිශීලනය කිරීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමටත් අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙම වෙබ් අඩවියට චැට් සේවාවක්ද ඇතුළත් කර ඇති අතර, ක්ෂණික ඇමතුම් අංකයක් සහ මගහැරුණු ඇමතුම් (Missed-call) අංකයක්ද හඳුන්වා දී ඇත. මේ සියල්ලෙහි අරමුණ වන්නේ, කොටස් නිකුතුව සම්බන්ධයෙන් හොඳින් දැනුවත්ව තීරණ ගැනීම සඳහා ආයෝජකයන්ට අවශ්‍ය සියලු තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම ය.

දශක ගණනාවක් තිස්සේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටින JAT Holdings මේ වනවිට ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ වෙළඳපොළ තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට සමත් වී ඇත. එමෙන්ම එම සමාගම Sayerlack නිෂ්පාදන සඳහා ලොව විශාලතම හවුල්කරුද වේ.

ඊට අමතරව JAT Holdings මේ වනවිට අලංකරණ තීන්ත, රසායන ද්‍රව්‍ය, බුරුසු සහ නිවෙස් හා කාර්යාල අභ්‍යන්තර අලංකරණ විසඳුම් රාශියක් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් ලැබෙන ආදායම, සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය අතිනවීන පහසුකම් සමගින් වැඩිදියුණු කිරීම, බංග්ලාදේශයේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම, WHITE by JAT නිෂ්පාදන පෙළ සම්බන්ධ ප්‍රවර්ධන හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ නැගෙනහිර අප්‍රිකාවේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම යන අරමුණු උදෙසා යොදවනු ඇත.

ලොව පුරා නවතම ප්‍රවණතාවන්ට අනුගත වෙමින්, පාරිභෝගික ඉල්ලීම් කාර්යක්ෂම ලෙස සපුරාලීමට හැකිවන ආකාරයේ විද්‍යුත් වාණිජ සේවාවන් හඳුන්වා දීමටද JAT Holdings කටයුතු කර තිබේ. මේ සියල්ල, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවාලීම සඳහා JAT Holdings දරන උත්සාහයට මනා සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි ය.

CAL සමාගම සහ NDB Investment බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන මෙම මූලික කොටස් නිකුතුව තුළදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 82,904,846 ක් නිකුත් කෙරෙනු ඇත. කොටසක වටිනාකම වන රු. 32.50 ට සාපේක්ෂව ආයෝජකයන්ට මෙම කොටස් නිකුතුව තුළදී 21% ක වාසියක් අත්විඳිමින්, කොටසක් රු. 27.00 බැගින් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහය (Discounted Cash Flow – DCF) සහ ඉදිරි මිල ඉපයුම් අනුපාතය (Forward-earnings Ratio (PER) යන තක්සේරු විධික්‍රම නිසා මෙම අවස්ථාව උදාකර දීමට හැකි වී ඇත.

JAT Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “JAT ආයතනය ළඟදීම මූලික කොටස් නිකුතුවක් සිදුකිරීමට තීරණය කර ඇති බව අප දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්. මෙය ආයෝජකයන් කිසිසේත්ම මග නොහැරිය යුතු අවස්ථාවක්. අප සමාගම මේ වනවිට තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වීමට හැකි මට්ටමකට දියුණු වී තිබෙනවා. එහෙත් සමාගමේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා වැඩිදුර ආයෝජන අවශ්‍යයි. එමෙන්ම, සමාගමේ දියුණුවට සමගාමීව කොටස් හිමියන් සියලුම දෙනාට ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇති බව මෙහිදී සිහිපත් කළ යුතු වනවා. මෙය සෑම දෙනාටම ඉතා හොඳ ආරංචියක් වේවි.”

2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානය, එම වසරේ CNCI Achiever’s සම්මාන උළෙලේ CNCI Top Ten සම්මානය, අඛණ්ඩව වසර 4 ක් පුරා LMD Top 100 Most Respected Companies දර්ශකයට ඇතුළත් වීම, සහ LMD’s Brand Annual 2020 සමීක්ෂණයේදී විශිෂ්ටතම සමූහ ව්‍යාපාරයන් 20 අතරට එක්වීම වැනි සම්මාන හා ඇගයුම් රාශියකින් පිදුම් ලැබීමට JAT Holdings සමත් වී ඇත. එමෙන්ම අඛණ්ඩව වසර 5 ක් පුරා Moody’s ශ්‍රේණිගත කිරීම් වලදී ICRA “A+ Stable” ශ්‍රේණිය හිමිකරගත් එකම ශ්‍රී ලාංකික පෞද්ගලික සමාගම වන්නේද JAT Holdings ය.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ඝානාව, කෙන්යාව සහ සීෂෙල්ස් යන රටවලද ව්‍යාපාර කටයුතු සිදුකරන JAT ආයතනය, Sayerlack, Herman Miller, සහ SEA Kitchens ඇතුළු ජාත්‍යන්තර සන්නාම රැසක් සඳහා නිල නියෝජිතයෙකු ලෙසද කටයුතු කරයි. මෙම මූලික කොටස් නිකුතුව, තම ආයතනික ශක්තිය තවදුරටත් පුළුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උරදීම සඳහා JAT Holdings දරන උත්සාහයේ තවත් වැදගත් ක්‍රමෝපායික ඉදිරි පියවරක් වනු නිසැක ය.

Visits: 158