‘මෙන්ඩිස්’ සමාගමට ලබා දුන් බලපත්‍රය ජනපති අවලංගු කරලා

අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදනය යළිත් වරක් ආරම්භ කිරීම සඳහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙන්ඩිස් සමාගම මගින් පැහැර හැර ඇති රුපියල් බිලියන 1.2ක් පමණ වන බදු වසර දෙකක් ඇතුළත ගෙවීමේ එකඟතාව මත දෙපාර්තමේන්තුව මගින් මෙම බලපත්‍රය ආපසු ලබා දී තිබුණී.

මෙන්ඩිස් සමාගමේ වත්මන් හිමිකරුවා වන්නේ ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාය.

මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට ඔහු ඇප මත මුදා හැර ඇති අතර, ඉන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සිදුකළ ඉල්ලීම් රැසක ප්‍රතිඵලයක් ලෙස මෙම බලපත්‍රය ආපසු ලබාදීමක් සිදු වන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

කෙසේ වෙතත් බැදුම්කරවංචාව මෙන්ම තවත් බදු වංචාවකටද සම්බන්ධව සිටින සමාගමකට යළිත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබාදීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය.

Visits: 151