නිලන්ත ද සිල්වා HNB සභාපති වෙයි

හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රවීණතම බැංකුකරුවෙකුවන නිලන්ත ද සිල්වා මහතා පත් කෙරී ඇතැයි එම බැංකුව නිවේදනය කරයි. ඒ මහතා මෙම ධුරයට පත්වන අවස්ථාව වනවිටත් බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

බැංකුවෙහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ හර්ෂ කබ්රාල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගින්ම හිස් වූ සභාපති ධුරය සඳහා මෙලෙස නිලන්ත ද සිල්වා මහතා පත් කෙරී ඇතැයි පැවසෙයි.

නව සභෘපතිවරයා ලෙස පත් වුණු නිලන්ත ද සිල්වා මහතා සතුව වාණිජ බැංකුකරණයේ සහ බැංකු කළමනාකරණයේ වසර 47කට අධික කාලයක අත්දැකීම් සහිත බව සඳහන් වෙයි. 1974 වසරේදී හැටන් නැෂනල් බැංකුව හා එක්ව සිය වෘත්තීය දිවිය ආරම්භ කරන ඒ මහතා ඉන් ඉවත් වන විට බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාංගමික බැංකුකරණ) වරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා හැටන් නැෂනල් බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හා සම්බන්ධ වන්නේ 2015 වසරේදීය.

නිලන්ත ද සිල්වා මහතා මේ වනවිට මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා මීට පෙර යුනියන් බැංකුවෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා ලංකා ක්ලියර් ආයතනයේහිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, ශ්‍රී ලංකා ණය කාර්යාංශයේ හිටපු විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මෙලෙස නව සභාපතිවරයෙකු පත් කරමින් වැඩබලමින් සිටි සභාපති ජනාධිපති නීතීඥ හර්ෂ කබ්රාල් මහතා එම ධුරයෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන්ද ඉවත් වීම එකිනෙකා අතර පැවැති අදහස් පිළිබඳව වෙනස්කම් නිසා බව මේ පිළිබඳව අනාවරණයක් කරන ඩේලිඑෆ්ටී පුවත්පතද පවසයි.

Visits: 266

Leave a Reply

Your email address will not be published. Required fields are marked *