කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් වටිනාකම් දින දෙකකදී 25%කින් ඉහළ ගිහින්ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක අගය පසුගිය ගනුදෙනු දින දෙකේදී 25%කින් ඉහළ ගොස් ඇතැයි සටහන් වන බව එම සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රේනුක විජයවර්ධන මහතා වෙත ලිපියක් යවමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ.

එහිදී මෙලෙස කොටස් අගය ඉහළ යාම සඳහා හේතු වන කාරණාවක් පිළිබඳව තමන්ට වැඩිදුර තොරතුරක් නොමැති බවත්, දැනටමත් මිල සංවේදී තොරතුරු සියල්ලම පාහේ තමන් හෙළිදරව් කර ඇති බවත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මෙහිදී පවසා සිටියි.

මේ අතර අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 8.10ක් ලෙස සටහන් විය. එය ඊයේ කොටසක් සඳහා වාර්තා වූ රුපියල් 6.60ට සාපේක්ෂව රුපියල් 1.50 කින් එනම් 22.73%ක ඉහළ යාමකි.

ඒ අනුව අද දිනයේදී රුපියල් 7.00ත් 8.20ත් අතර අගයකට එහි කොටසක වටිනාකම් පැවැති අතර කොටස් මිලියන 6.7ක් (6,826,761ක්) ගනුදෙනු විය. ගනුදෙනු 1,396කදී සිදු වුණු මෙහිදී පිරිවැටුම රුපියල් මිලියන 53ක් ලෙස සටහන්ව තිබේ.

පසුගිය සිකුරාදා (ජූලි 02දා) කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටසක අගය රුපියල් 6.20ක් ලෙස පැවති අතර අද වටිනාකම හා සැසඳීමේදී එය රුපියල් 1.90කින් එනම් 23%ක ප්‍රතිශතයකින් ඉහළ යාමකි.

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම LOLC සමූහයට අයත් සමාගමකි. එහි කොටස් අතරින් බිලියන 6.31ක් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත හිමි අතර තවත් මිලියන 40ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙත හිමිව තිබේ.

Visits: 326