BOI සභාපති සංජය මොහොට්ටාල සොෆ්ට්ලොජික් ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට

සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සංජය මොහොට්ටාල මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

2021 ජූලි 01 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක වී තිබේ. මෙහිදී සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස මොහොට්ටාල මහතා පත් කෙරී ඇත. මෙහිදී අදාළ පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් සමාගම පවසයි.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට සංජය මොහොට්ටාල මහතා සතුව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොවූ බවද සඳහන් වෙයි.

සිංගප්පූරුවෙහි බොස්ටන් කන්සල්ටින්ග් ගෘප්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ හවුල්කරුවෙකු වන මොහොට්ටාල මහතා, සම්පත් සංවර්ධනය, පාරිභෝගික කළඹ කළමනාකරණය, මානව සංවර්ධනය යනාදී ක්ෂේත්‍ර තුළ කටයුතු කර ඇතැයි පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික සහ දුරකතන සන්නිවේදන පිළිබඳ B.Sc. උපාධියක් හිමි කරගෙන ඇති ඒ මහතා, UCLA Anderson School of Management වෙතින් ව්‍යවසායකත්ව සහ ක්‍රමෝපාය පිළිබඳ එම්බීඒ උපාධියක් හිමි කරගෙන ඇත. එසේම එක්සත් රාජධානියේ අලෙවිකරණය පිළිබඳව වරලත් ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් හදාරා ඇති ඒ මහතා එක්සත් රාජධානියේ කළමනාකරණය පිළීබඳ වරලත් ආයතනයෙන් කළමනාකරණ ගණකාධිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.

ජනපතිවරයා විසින් සිදුකරන ලද නම් කිරීමක් ලෙස සංජය මොහොට්ටාල මහතා 2020 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය සඳහා පත් කෙරිණි.

මෙම පත් කිරීමට අමතරව පී.එල්.පී. විතාන මහතාද සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇත. ජූලි 01 වැනිදා සිදු වූ මෙම පත් කිරීමද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂමේ අනුමැතියට යොමු කර ඇතැයිද පැවසෙයි. එසේම මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වනවිට විතාන මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොවූ බවත් සඳහන් වෙයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ 52%ක කොටස් හිමිකාරීත්වයක් සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම වෙත හිමිව ඇති අතර එහි සභාපතිවරයා වන්නේ අශෝක් පතිරගේ මහතාය. අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කළමනාකාර අධ්‍යක්ෂ ඉමිතියාස් අහමඩ්, එච්.කේ. කයිමාල්, වී. ගෝවින්දසාමි, එෆ්.පී.එල්. ලිමා, ආර්. සින්ඩර්ස්, පී.එල්.පී විහාන සහ සංජය මොහොට්ටාල යන පිරිස කටයුතු කරයි.

Visits: 183