නෙවිල් ප්‍රනාන්දු බිහි කළ JF&I Packaging සමාගම Technomedics අතට පත්වෙයි

මෙරට සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කළ JF&I Packaging (පෞද්) සමාගම රුපියල් බිලියන 4.3ක මුදලකට මිලදී ගැනීමට Technomedics International (පෞද්) සමාගම ඇතුළු ආයෝජකයන් සමූහයක් විසින් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම ගනුදෙනුව සඳහා සහභාගි වූ Technomedics International (පෞද්) සමාගම ප්‍රමුඛ පාර්ශ්වයන් වෙත උපදේශකවරයා ලෙස කටයුතු කළ CAL (Capital Alliance) සමාගම මගින් සඳහනක් තබමින් මේ පිළීබඳව අනාවරණය කර තිබේ.

කඩුවෙල පාර, කොස්වත්ත පිහිටි මෙම JF&I Packaging සමාගම මගින් මෙරට මෙන්ම ජාත්‍යන්තර සමාගම් රැසකම ඇසුරුම් සඳහා මුද්‍රණ කටයුතු සිදු කරන මුල් පෙළේ සමාගමකි. එහිදී කොරුගේටඩ් ඇසුරුම් මුද්‍රණය, ඕෆ්සෙට් ඇසුරුම් මුද්‍රණය, ෆ්ලෙක්ස් ඇසුරුම් මුද්‍රණය මෙන්ම, පෙට්/පීපී බෝතල් සඳහා වන මුද්‍රණ කටයුතු සිදු කරන බව එහි වෙබ් අඩවියේ සඳහන් වෙයි.

1978 වසරේදී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පිහිටවුණු මෙම සමාගමේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඔහුගේ පුත්‍රයෙකු වන නයෝමාල් ප්‍රනාන්දු මහතාය.

මෙම අත්පත් කරගැනීම සිදු කළ Technomedics International (පෞද්) සමාගම මෙරට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් වෙත ජාත්‍යන්තරව පිළිගත් මුල් පෙළේ වෛද්‍ය උපකරණ සහ උපාංග ආනයනය සහ සවි කිරීම, නඩත්තුව සහ එම උපාංග ක්‍රියාකරවීම පිළිබඳව දැනුම සහ පුහුණුව ලබා දෙන සමාගමකි.

Technomedics International (පෞද්) සමාගමේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වන්නේ සුජිත් සමරදිවාකර මහතාය. 1996 වසරේදී පිහිටවුණු එම සමාගමේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල, ධම්මෝදය මාවතේ පිහිටා තිබේ.

මෙම අත්පත් කරගැනීම සඳහා Technomedics International (පෞද්) සමාගම සමගින් සම්බන්ධ වූ අනෙක් සමාගම් මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

Visits: 446