කොළඹ කොටස් හුවමාරුව පාර්ශවකරුවන්ට බදු සංශෝධන පිළිබඳ මාර්ගෝපදේශකත්වය සපයයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කොට ඇති බදු සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, PWC ශ්‍රී ලංකා ආයතනය සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින් (පුද්.) සමාගම යන ආයතනවල සහයෝගය ඇතිව පසුගියදා මාර්ගගත ක්‍රමය හරහා වැඩමුළුවවක් පැවැත් වූ බව පවසයි.

“මෑත කාලීන බදු ප්‍රතිසංස්කරණ අවබෝධ කර ගැනීම – එය ආයෝජකයින්ට සහ ව්‍යාපාරවලට බලපාන්නේ කෙසේද” යන තේමාව යටතේ, බදු නිදහස් කිරීම්, බදු අය කළ හැකි ආදායම, සංශෝධන සන්දර්භයෙහි අදාළ ප්‍රතිපාදන, වක්‍ර බදු වල ප්‍රායෝගික ගම්‍යාර්ථයන් අවබෝධ කර ගැනීම, බදු ප්‍රතිලාභ, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ලැයිස්තුගත වීමෙන් ලැබෙන ප්‍රතිලාභ සහ මෑත කාලීන බදු ප්‍රතිසංස්කරණ, ඇතුළු යෝජනා වල වැදගත් අංග කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මෙම වැඩමුළුවේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රදීප් සිල්වා මහතා විසින් සංශෝධන සන්දර්භය තුළ බදු අය කළ හැකි ආදායම් / බදු නිදහස් කිරීම් / අදාළ ප්‍රතිපාදන පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්, නන්දන කුමාර මහතා විසින් වක්‍ර බද්ද පිළිබඳ ප්‍රායෝගික ගම්‍යාර්ථයන් අවබෝධ කර ගැනීම පිළිබඳ දේශනයක් සිදු කරන ලදී.

PWC හි බදු සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශිකා දීපානි හේරත් මහත්මිය ක්ෂේත්‍රයට සුවිශේෂී වන්නාවූ මෑත කාලීන බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්ලේෂණයක් ද ඉදිරිපත් කළාය.

මේ අතර ෆස්ට් කැපිටල් හෝල්ඩින් (පුද්) සමාගමේ පර්යේෂණ ප්‍රධානී දිමන්ත මැතිව් මහතා විසින් මෙහෙයවන ලද සාමූහික සාකච්ඡා වටයට ද දේශකයින් සම්බන්ධ වී තිබේ.

Visits: 340