LPL පළමු තරගාවලිය ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 557කගේ අවධානයට

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා පේ‍්‍රක්ෂකයින් මිලියන 557කගේ ආකර්ෂණය දිනා ගත් බව මෙම තරගාවලියෙහි නිල හිමිකාරීත්ව සමාගම වන IPG (Innovative Production Group ) පවසයි.

පසුගියදා එළි දැක්වූ ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු තරගාවලියට අදාළ ප‍්‍රගති සමාලෝචන වාර්තාවෙහි මෙම කරුණු අන්තර්ගත විය. ලොවපුරා ක‍්‍රිකට් ලෝලීන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තරගාවලිය නැරඹූ බව මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම තරගාවලිය සඳහා ලබා දුන් මාධ්‍ය ආවරණයන්හි තක්සේරුව ඩොලර් මිලියන 54.5ක් බව මෙම වාර්තාවෙහි සඳහන්වේ.

ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු අදියරේ ජයග‍්‍රාහකයින් වූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ඇගයුම් වාර්තාවේ පළමු ස්ථානයට පැමිණෙමින් ඩොලර් මිලියන 3.98ක්ද, ගෝල් ග්ලැඩියේටර්ස් ඩොලර් මිලියන 3.82ක් ද දඹුල්ල වයිකිංග්ස් ඩොලර් මිලියන 3.54ක් සහ කළම්බෝ කිංග්ස් ඩොලර් මිලියන 3.44ක වටිනාකමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබා ගත් බව මෙම ඇගයුම් වාර්තාවෙහි දැක්වේ.

Innovative Production Group FZE හෙවත් IPG සමාගම මෙම තරගාවලියෙහි නිල හිමිකාරීත්ව සමාගම ලෙස කටයුතු කළ අතර තරගාවලියට සහභාගී වූ සියලූ තරගකරුවන් ජෛව බුබුළක් ලෙස කටයුතු කරමින් තරගාවලියට සහභාගී වූහ. ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණ. 

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර පිළිබඳව අදහස් දක්වන IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා ‘‘ ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර පිළිබඳව පැවති පේ‍්‍රක්ෂක උනන්දුව සහ ආකර්ෂණය සැබවින්ම අපව දිරිගන්වන සුළුයි. පසුගිය වසරේ තරගය සාර්ථකව පැවැත්වීම සඳහා ඔවුන්ගෙන් ලද ආශිර්වාදය අපට බෙහෙවින්ම වැදගත් වූවා. එමෙන්ම මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පන්දුවාර 20 ක‍්‍රිකට් නැංවීම සඳහා මෙන්ම නවක ක‍්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක‍්‍රීඩකයින් සමග එක්ව ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන වේදිකාවක් ද වී තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩාවේ මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තරය තුළ සිය ස්ථානය සනිටුහන් කිරීමක් ලෙසද මෙය හැඳින්විය හැකියි. 2020 වසරේ තරග සංවිධානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන් ලද සහාය මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. එමෙන්ම තරගාවලිය සාර්ථක කර ගැනීමට සහාය සියලූ පාර්ෂවයන්ට මාගේ ස්තුතිය පුද කරන අතර 2021 තරගාවලියද වඩාත් ප‍්‍රශස්ත අයුරින් සංවිධානය කිරීමට සියලූ දෙනාගේ සහාය හිමිවෙතැයි අපේක්ෂා කරනවා’’ යනුවෙන් පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා ‘‘පසුගිය වසරේ සාර්ථකත්වය සහ ලද අත්දැකීම් සමග මෙම වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර වඩාත් සාර්ථක කර ගැනීමට නිසැකවම හැකිවෙතැයි මම අපේක්ෂා කරනවා. මෑතකදී එළිදැක්වූ මාධ්‍ය ආවරණ ඇගයුම් වාර්තාවට අනුව පසුගිය තරගාවලිය සඳහා එක් වු අනුග‍්‍රාහක සමාගම් විසින් ලැබූ මාධය ප‍්‍රචාරණ වටිනාකම ඔවුන්ගේ ආයෝජනය සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගත් බැවින් අනුග‍්‍රාහක සමාගම්වල ඉහළ ආකර්ෂණය මෙවර තරගාවලියට ලැබී තිබෙනවා. මෙය ඉදිරි තරගාවලි සඳහා සුභදායී තත්වයක් ලෙස සැලකිය හැකියි’’ යනුවෙන් පවසයි.

Visits: 104