මන්නාරම සුළං විදුලිබලාගාරය පිහිටුවීමට වින්ඩ්ෆෝර්ස් වෙත CEB අනුමැතිය

මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව මෙගාවොට් 15ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාරයක් පිහිටුවීම සහ එම විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මන්නාරම ග්‍රිඩ් උප පොළ හා සම්බන්ධ කිරීමට අදාළ අනුමැතිය ඇතුළත් ලිපිය පසුගිය ජූනි 30 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයෙන් තමන්ට හිමි වුණු බව එම ව්‍යාපෘතිය භාර වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම පවසයි.

පසුගිය මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා වන කැබිනට් අනුමැතිය හිමි වූ අතර, එහිදී එය වින්ඩ්ෆෝර්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් (පෞද්) සමාගම වෙත ප්‍රදානය කෙරිණි. මෙහිදී මෙගාවොට් 5ක් සහ 10ක් බැගින් වන ධාරිතාවලින් යුත් සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සැලසුම වී ඇත.

විසි අවුරුදු මෙහෙයුම් කාලසීමාවක් සඳහා ගොඩනැගීම, අයිතිකර ගැනීම, මෙහෙයවීම යන පදනම මත මෙම මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදි කෙරේ.

2021 වසරේ අගභාගයේදී ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය වසර 2022 අගදී නිමා කිරිම සැලසුම වී ඇත. එහිදී අදාළ බලාගාරය සඳහා වන ඉඩම ශ්‍රී ලංකා රජය මගින් වසර 30ක කල්බදු පදනම මත ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම හිරුරැස් පවර් (පෞද්) සමාගම අයත් වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමකි.

ඉහත සඳහන් කළ ව්‍යාපෘති දෙක සිය සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි මූලික කොටස් නිකුතුවට අදාළ විවරිණිකාව ඉදිරිපත් කළ අවස්ථාවේදීද සිය ව්‍යාපෘති අතර පැවැති බවද එම සමාගම සඳහන් කර සිටියි.

Visits: 355