එල්බී ෆිනෑන්ස් තුළ සිදු වූ විශාල ගනුදෙනුව වෙළෙඳ පොළ පසුබැසීම මඟහරවයි

අද (ජූලි 02) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු අවස්ථා බොහෝමයකදීම පසුබැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම NIFL කොටස් වටිනාකම්හි පැවැති වාෂ්පෂීලිතාව ඊට හේතුව වී තිබේ. කෙසේ වෙතත් අවසන් පැයේදී එල්බී ෆිනෑන්ස් (LFIN) සිදුකළ විශාල ගනුදෙනුව එම පසුබැසීම යම් තරමකින් යථාවත් කිරිමට සමත්ව ඇත.

මේ අතර අද දිනයේ ගනුදෙනු අතරතුරදී වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීමේ උනන්දුවක් ඉහළ ගිය බවත්, විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ සමාගම් තුළ මෙම තත්ත්වය ඇති වූ බවත් එම තැරැව්කාර සමාගම් පවසයි. එසේම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් කොටස් වටිනාකම් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේදී දර්ශක අගයන් ඉහළ යාමක් සිදු විය.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,630.37ත් ඒකක 7,762.84ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,746.56ක් බවට පත්විය. එය ඊයේ (ජූලි 01) දිනයට සාපේක්ෂව ඒකක 17.95ක් එනම් +0.23%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

එහිදී පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව හැටන් නැෂනල් බැංකුව (නිෂ්ඡන්ද කොටස්) සහ හැටන් නැෂනල් බැංකුව තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 7.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 107ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 63ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හොල්ඩිංග්ස් පීඑල්සී LOLC (+9.66), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.49), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+5.97), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.67), හේලීස් පීඑල්සී HAYL (+2.54), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-33.45), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-3.19), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-2.62), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (-1.66), සම්පත් බැංකුව SAMP (-1.29) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,970.75ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 01දා) ‍ට සාපේක්ෂව ඒකක 14.63 ක එනම් +0.49%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.74ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූලි 01දා) වාර්තා කළ රුපියල් බිලියන 1.42ට සාපේක්ෂව 25% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.43ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.85%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 99.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 505.89ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 406.44කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.89ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකු විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 64.37 කි. එසේම එල්බී ෆිනෑන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 441.82ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 724ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 41%කි. එසේම බැංකු සහ නිෂෟපාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 368 ක සහ රුපියල් මිලියන 193ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 722