අමායා ලෙෂර් පීඑල්සී සමාගම හේලීස් ලෙෂර් පීඑල්සී වෙයි

හේලීස් සමූහයට අයත් අමායා ලෙෂර් පීඑල්සී (Amaya Leisure PLC) සමාගම හේලීස් ලෙෂර් පීඑල්සී (Hayleys Leisure PLC) ලෙස නම් වෙනස් කිරීමක් සිදු කරන බව පවසයි. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ඒ සඳහා වන අනුමැතිය ලබා දීමත් සමගින්ම මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව 2021 ජුනි 30 වැනිදා සිට බලාත්මක වන පරිදි අමායා ලෙෂර් පීඑල්සී සමාගම, හේලීස් ලෙෂර් පීඑල්සී ලෙස සිය නම වෙනස් කරන බව දැනුම් දී සිටියි.

“අමායා ලෙෂර් පීඑල්සී සමාගම 2007 අංක 7 දරන සමාගම් පනතේ 8 වන වගන්තියේ ප්‍රතිපාදනයන්ට අනුකූලව එහි නාමය හේලීස් ලෙෂර් පීඑල්සී වශයෙන් වෙනස් කරන ලදුව, එය මෙදින සිට හේලීස් ලෙෂර් පීඑල්සී වශයෙන් සංස්ථාගත කරන ලද බව 2007 අංක 7 දරණ සමාගම් පනතේ 8 වන වගන්තිය යටතේ මම මෙයින් සහතික කරන අතර එකී සමාගම වගකීමෙන් සීමාසහිත සමාගමක් බවත් සහතික කරමි” යනුවෙන් සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තැන සඳහන් කර සිටියි.

2021 මාර්තු 31 වැනිදා වනවිට අමායා ලෙෂර් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 43,538,914ක්, එනම් 40.32% ක ප්‍රතිශතයක් හේලීස් පීඑල්සී සමාගම වෙත හිමිව තිබේ. එසේම එහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන ඩීන් ෆොස්ටර් (පෞද්) සමාගමට කොටස් 23,049,088ක් එනම් 21.31% ක ප්‍රතිශතයක් හිමිය. මීට අමතරව තෙවැනි සහ සිව්වැනි කොටස් හිමිකාරීත්වය පිළිවෙලින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත අරමුදල (10,604,160ක්) සහ සේවක අර්ථසාදක අරමුදල (10,388,284ක්) වෙත හිමිව තිබේ. එය ප්‍රතිශත ලෙස පිළිවෙලින් 9.82%ක් සහ 9.62% කි.

වර්තමානයේදී අමායා ලෙෂර් පීඑල්සී එනම් හේලීස් ලෙෂර් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ මොහාන් පණ්ඩිතගේ (සභාපති), චන්ද්‍රා වික්‍රමසිංහ (උප සභාපති, විධායක නොවන අධ්‍යක්ෂ), රොහාන් ජේ. කරුනාරාජා (කළමනාකාර අධ්‍යක්ෂ), ධම්මික පෙරේරා (විධායක නොවන අධ්‍යක්ෂ), සුරනිමල සේනාරත්න (විධායක නොවන අධ්‍යක්ෂ), ශිරාන් හර්ෂ අමරසේකර (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ආර්.එන්. පොන්නම්බලම් (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), එස්.ජේ. විජේසිංහ (විධායක නොවන අධ්‍යක්ෂ), වරිනි ඩී කොස්තා (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ) සහ එස්.සී. ගනේගොඩ (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මීන්ය.

අද වන විට අමායා හොටෙල්ස් පීඑල්සී සතුව මෙරට සහ මාලදිවයිනේ පිහිටි හෝටල් නවයක් හිමිය. ඒ අතරින් අමායා ලේක් හෝටලය දඹුල්ල කන්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇත. අමායා හිල්ස් හෝටලය මහනුවර පිහිටා තිබේ. අමායා බීච් හෝටලය පාසිකුඩාහිදීත්, අමායා සිග්නේචර් හෝටලය දඹුල්ල කන්ඩලමේත් පිහිටා තිබේ. මීට අමතරව අමායා බන්ගලෝ හෝටලය මහනුවරත්, අමායා ලැන්ග්ඩේල් හෝටලය නුවරඑළියේත් පිහිටා ඇත.

නුවරඑළියේ පිහිටි The Oliphant සහ සීගිරියේ පිහිටි Amuna යන හෝටල්ද අමායා හොටෙල්ස් පීඑල්සී වෙත අයත් වෙයි. මීට අමතරව මාලදිවයිනේ පිහිටි අමායා කුඩා රාහ් හෝටලයත් එම සමාගම වෙත අයත් හෝටලයකි.

කොළඹ පිහිටි කිංග්ස්බරි හෝටලයත් හේලීස් සමූහයේ ලෙෂර් අංශයට අයත් වන්නකි. කිංග්ස්බරි හෝටලයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව පවතී. ඒ අනුව මෙම පියවරත් සමගින්ම හේලීස් සමූහය සිය සන්නාමය යටතේ නිල වශයෙන් ලෙෂර් අංශය වෙත පිවිසිමක් සනිටුහන් කර තිබෙන බව වෙළෙඳ පොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Visits: 502