සති දෙකකට පසු NIFL අගයන් අඩුවීම ASPI ඍණ කරයි

අද (ජූලි 01) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව කැපී පෙනෙන කඩා වැටීමක් සිදු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම සති දෙකක් පුරා මිල ඉහළ ගිය NIFL කොටස් වටිනාකම් අද දිනයේදී දරුණූ ලෙස කඩා වැටීම ඒ සඳහා හේතුව වී තිබේ.

මෙහිදී NIFL හි කොටසක සිදු වූ රුපියල් 170.25ක එනම් 25%ක අලාභය සියලු කොටස් මිල දර්ශකය ඒකක 91කින් කඩා වැටීමට හේතුවී ඇත. එසේම ආයෝජකයන් වටිනා සමාගම් තුළ ලාභ ඉපැයීමට යොමුවීමත් දර්ශක අගයන් පහළ වැටීමට බලපෑ බවත් එම තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,722.65ත් ඒකක 7,862.40ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,728.61ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 30) දිනයට සාපේක්ෂව ඒකක 109.15ක් එනම් -1.39%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 87ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+2.55), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.45), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.85), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+1.79), වැලිබල් වන් පීඑල්සී VONE (+1.54), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-91.49), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-6.76), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-6.44), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-4.7), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.42) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,956.12ක අගයක් ගත් අතර, එය ඊයේ (30දා) ‍ට සාපේක්ෂව ඒකක 12.14 ක එනම් -0.41%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජූනි 30දා) වාර්තා කළ රුපියල් බිලියන 1.71ට සාපේක්ෂව 17% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.42ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.58%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 20.62ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 63.21ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 42.58කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.48ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.01 කි. එසේම එන්ඩීබී බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 14.74ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 342ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 220 ක සහ රුපියල් මිලියන 213ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 213