කෘෂි ව්‍යවසායකයින් 400කට HNB වෙතින් බිලියන 1ක් වටිනා ක්ෂුද්‍ර ලීසිං පහසුකම්

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත.

 මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝගවලට අනුව කටයුතු කරමින් දිවයින පුරා සිටින කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු ව්‍යවසායකයින් 400කට අධික සංඛ්‍යාවකට ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා HNB හි මෙම ක්ෂුද්‍ර ලීසිං පහසුකම් උපයෝගී කර ගනු ඇත.

බැංකුවේ ලීසිං හා ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ඒකාබද්ධ ප‍්‍රයත්නයක් වන මෙම පහසුකම මගින් ගනුදෙනුකරුවන්ට බැංකුවේ පුළුල් වූ වෙළෙඳ හවූල්කාර ජාලය වෙතින් පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා ‘‘ආදායම ඉපැයීම සැලකීමේදී කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ එක් අංශයක් ලෙස කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සැලකිය හැකියි. ශක්තිමත් අපනයන ආර්ථිකයක් සඳහා දායක වීමට ඇති හැකියාව පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී නවීකරණය හා යාන්ත‍්‍රිකරණය තුළින් එම ක්ෂේත‍්‍රයේ ඵලදායීතාවය හා ඉපැයීමේ හැකියාව ඉහළ නැංවීම ඉතා වැදගත්.

බිම් මට්ටමේ සිට මෙම තාක්ෂණයන් භාවිතා කිරීමට තිබූ දැඩි කැමැත්ත අප දුටුවා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නැවත නගා සිටුවීම සඳහා ගොවීන්ගේ අවශ්‍යතාවන් සඳහා සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳ සහකරුවන්ගේද සහභාගීත්වය සහිතව බැංකුවේ ලීසිං හා ක්ෂුද්‍ර මූල්‍ය අංශ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණ අතර කොවිඞ්-19 වසංගතයේ වත්මන් තත්වය හේතුවෙන් මෙම වැඩසටහන් පැවැත්වීමට බාධාවන් ඇති විය. නමුත් මෙම වැඩසටහන් නැවත හැකි ඉක්මනින් ආරම්භ කිරීම බැංකුවේ අරමුණයි.

කෘෂිකාර්මික අංශය සමඟ ඇති අපගේ ශක්තිමත් සබඳතාවය සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ අවශ්‍යතා පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සුදුසුම කාලය කුමක්දැයි අපට අවබෝධයක් තිබෙනවා. අපගේ ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සෑමවිටම කෘෂි ක්ෂේත‍්‍රයේ නිරතව සිටින ව්‍යවසායකයින්ව තවදුරටත් නගා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම හා සහාය ලබා දෙමින් මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මේ අවස්ථාවේදී ඔවුන් ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව අපට සතුටුයි. HNB හි ලීසිං හා ක්ෂුද්‍ර මූල්‍ය අංශවල ඒකාබද්ධ ප‍්‍රයත්නය මෙම ලීසිං පහසුකමේ සාර්ථකත්වය සහතික කර තිබෙනවා. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිටින අපගේ ගනුදෙනුකාරභවතුන්ට මෙම ලීසිං පහසුකම උපකාර වී ඇති ආකාරය පිළිබඳව අපට සැබවින්ම සතුටුයි.’’ යනුවෙන් HNB ලීසිං අංශයේ ප‍්‍රධානී නිලූක අමරසිංහ මහතා පැවසුවේය.

රට පුරා සිටින සිය ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරමින් ගැමි පුබුදුව වැඩසටහන හරහා බැංකුව එම අංශයේ වර්ධනයට පහසුකම් සලසා ඇත. තවද නිපුණතා සංවර්ධනය පිළිබඳ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් වටිනාකම් සංවර්ධනය කිරීමට හා ධාරිතා වර්ධන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ලීසීං ගනුදෙනුකරුවන් සඳහාම වූ සැසි ආදිය සංවිධානය කරමින් HNB එම සහායම ලබා දෙනු ඇත.

කෘෂිකාර්මික අංශය තුළ පහසු ගෙවීමේ විසඳුම් වැඩිදියුණු කරමින් HNB SOLO, MOMO සහ Appigo වැනි ඩිජිටල් වේදිකා හරහා මෙම පහසුම භාවිතා කිරීමට බැංකුව සියලූම ගනුදෙනුකරුවන්ව සම්බන්ධ කරගනු ඇත. තවද HNB සිය අතිනවීන බැංකු සේවාවල (backend systems) සහාය ඇතිව අඛණ්ඩ එක්දින අනුමත කිරීමේ ක‍්‍රියාවලියක් ද ලබා දෙයි. මෙම පහසුකම ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4.5 ක නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් හිමි වන අතර මෙම රක්ෂණය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් වට්ටම් සහිත මාසික වාරික හා සම්බන්ධ කර ඇත.

එමෙන්ම, ලීසිං ගනුදෙනුකාරභවතුන්ට නොමිලේ Prestige Prime ණයපතක් ද බැංකුව ලබා දෙනු ඇති අතර ගනුදෙනුකරුවන්ට විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මෙම ණයපතේ පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

Visits: 47