NIFL අසාමාන්‍ය මිල ඉහළ යාම එහි ආයෝජක උනන්දුව හීන කරවයි

අද (ජූනි 30) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරේදී වටිනා සමාගම්වල කොටස් අගයන් තවදුරටත් පහළ වැටීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී NIFL කොටස් වටිනාකම් ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ දරුණු කඩාවැටීමකින් ආරක්ෂා කරවීමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් පෙර දින කිහිපයේදී NIFL වෙත පැවැති ආයෝජක ආකර්ෂණයද මේ වනවිට අහිමි වී ගොස් ඇති බවත්, ඒ සඳහා එම කොටස් වෙත හිමිවන අසාමාන්‍ය වූ ඉහළ මිළ ගණන් හේතු වී ඇති බවත් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ආර්ථිකය පිළිබඳව කණස්සල්ල ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ඉපැයීම් වෙත යොමුවීමට හේතු වී ඇතැයිද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,698.33ත් ඒකක 7,946.14ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,837.76ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 29) දිනයට සාපේක්ෂව ඒකක 18.88ක් එනම් -0.24%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 44ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 144ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+40.84), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+6.65), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (+4.82), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+1.85), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+1.59), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-7.78), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-7.01), කොමර්ෂල් බැංකුව COMB (-4.57), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.7), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,968.26ක අගයක් ගත් අතර, එය ඊයේ (29දා) ‍ට සාපේක්ෂව ඒකක 34.70 ක එනම් -1.16%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (29දා) වාර්තා කළ රුපියල් බිලියන 2.3ට සාපේක්ෂව 26% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.47ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.21%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 48.72ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 109.72ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 61.0කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.44ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 33.41 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 43.40ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 350ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 20%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 277ක සහ රුපියල් මිලියන 254ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 345