මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් ශත 10 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම ශත 10ක් බැගින් ලාභාංශ ගෙවන බව පවසයි.

මෙහිදී 2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම මෙය සඳහන් කර සිටියි.

මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලබන අගෝස්තු 19 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date)  ලෙස ලබන ජූලි 30 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 29 වැනිදා පැවැත්වෙන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 7.30ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේ පැවැති රුපියල් 7.20ක වටිනාකමට සාපේක්ෂව ශත 10කින් එනම් 1.39%කින් ඉහළ යාමකි.

2019 දෙසැම්බර් 31 වැනිදා වනවිට මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 6,728‍,001ක් කොමර්ෂල් බැංකුව/ලංකා මවුන්ට්කාසල් (පෞද්) සමාගම වෙතහිමිව තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස 33.224% කි. දෙවැනි වැඩිම කොටස්හිමිකාරීත්වය ලංකා මවුන්ට්කාසල් (පෞද්) සමාගම වෙත හිමිව ඇති අතර එය කොටස් 3,575,865කි. එය ප්‍රතිශතයක් ලෙස 17.658% කි.

Visits: 109