කාබනික පොහොර නිසා ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයට සිදු වන බලපෑම අනතුරුදායකයි

රජය විසින් මෙරට වගාබිම් සඳහා රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර යෙදවීම ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ හරහා තේ කර්මාන්තය වෙත එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශකවරයෙකු වන දුලිප් ගුණරත්න මහතා සිය කරුණු දැක්වීමක් සිදු කරයි.

වැවැලි ක්‍ෂේත්‍රයේ වසර 45 ක අත්දැකීම් සහිත ගුණරත්න මහතා මෙලෙස තේ වගා ව වෙනුවෙන් කාබනික පොහොර භාවිතය සම්බන්ධ තීරණය හරහා ඇති වන ඍණාත්මක බලපෑම මෙහිදී ඉස්මතු කරයි.

විශේෂයෙන්ම සමස්ත කර්මාන්තයම කාබනික පොහොර භාවිතය සඳහා එක රැයකින් මාරුවීමක් කළහොත් එය ශ්‍රී ලංකාවේ තේ ඉඩම්වල ඵලදායිතාව විශාල ලෙස අඩු කරනු ඇති අතර, එය නොදැනුවත්වම ආර්ථිකය අඩපණ කරන අතර සමස්ත තේ ක්ෂේත්‍රයේ අනාගතයටද තර්ජනයක් වෙනු ඇතැයිස ඔහු අනතුරු අඟවයි.

“තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි.

මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින් අඩු වනු ඇති අතර ඒ හේතුවෙන් රටේ නිෂ්පාදනය කරන සමස්ත තේ ප‍්‍රමාණය හා රැකියාවලින් වැඩි ප‍්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙන කුඩා තේ වතුහිමියන් ඇතුළුව සියලූම තේ වතු හිමියන්ගේ ඉපැයීම් ධාරිතාව ද විශාල ලෙස පහත වැටෙනු ඇත. තවද සතිපතා සිදු කරනු ලබන තේ වෙන්දේසිවලදී අඩු තේ ප‍්‍රමාණයක් පැවතීම නිසා ශ්‍රී ලංකාව සතුව මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික තේ වෙළෙඳපොළවල ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට අනෙකුත් තරගකාරීන්ට මෙමගින් ප‍්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනු ඇත.” ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා පොහොර භාවිතය පිළිබඳ ඉතිහාසය

1867 දී තේ කර්මාන්තය ආරම්භ වූ දා සිට සම්පූර්ණයෙන්ම චීන හා කාම්බෝජියානු ප‍්‍රභේදවල බීජ තේ පැළ වගා කිරීමට යොමු වීමක් දක්නට ලැබේ. කෙසේවෙතත් බීජ තේ පැළවල ජානමය ලක්ෂණ එක් තේ පඳුරක සිට තවත් තේ පඳුරකට වෙනස් වන බැවින් බීජ පැළ සමඟින් ඵලදායිතාවය වර්ධනය වීම සීමිත වේ.

1958 දී vegetatively propagated (VP) තේ හඳුන්වා දීමත් සමඟ තේ පර්යේෂණ ආයතනය (TRI) නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ අනුව පළමු (TRI 2000 series) හෙක්ටයාර් එකකින් තේ කිලෝග‍්‍රෑම් 3000කට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම කැපී පෙනේ.

තේ පෝෂණය පිළිබඳව තේ පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පුළුල් පර්යේෂණයකට අනුව සකසන ලද සෑම තේ කිලෝග‍්‍රෑම් 100ක් සඳහාම හෙක්ටයාර් එකකට නයිට‍්‍රජන් කිලෝග‍්‍රෑම් 10ක් සමඟ පස පුරවා ගත යුතු බවට විද්‍යාඥයින් ‘ආදේශන අනුපාතය’ (replacement ratio) පිළිබඳව මතවාදයකට එළැඹිණි.

තේ වතුවල ඵලදායීතාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම නයිට‍්‍රජන් ප‍්‍රමාණය මෙය වේ. කිසියම් අවස්ථාවකදී නෙලාගන්නා ලද තේ අස්වැන්නේ නයිට‍්‍රජන් අනුපාතය අඩු වුවහොත් තේ පඳුරු තුළින් නයිට‍්‍රජන් ඌණතාවය පිළිබඳව පෙන්නුම් කෙරෙන අතර එහිදී නෙලා ගනු ලබන තේ දළුවල මතුපිට කහ පැහැයක් ගනී. (TRI 2025 ක්ලෝනය).

නයිට‍්‍රජන් සමඟින් පොස්පේට් හා පොටෑෂ් (P&K) යන අනෙකුත් පෝෂ්‍ය කොටස් ද පසට යොදනු ලැබේ. පසුකාලයකදී තේ පර්යේෂණ ආයතනය සමඟ සිදු කළ සාකච්ඡාවකදී vegetatively propagated (VP) තේ ක්ෂේත‍්‍රයක අස්වැන්න ලබා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා හුදෙක් පෝෂ්‍ය කොටස් අදේශ කිරීමෙන් සෑහිමකට පත් විය නොහැකි බව සොයා ගන්නා ලදී. නෙලා ගන්නා ලද තේ කිලෝග‍්‍රෑම් 100කට නයිට‍්‍රජන් කිලෝග‍්‍රෑම් 12ක අනුපාතයක් දක්වා වැඩි කිරීම සඳහා අධ්‍යයනයන් සිදු කරන ලදී. තේ සඳහා හෙක්ටයාර් එකකට නයිට‍්‍රජන් 360ක් දක්වා NPK පොහොර මිශ‍්‍රන යොදා ගැනීමේදී එයට හොඳ ප‍්‍රතිචාරයක් තිබුණු අතර ක්ලෝන තේ අස්වැන්න හෙක්ටයාරයකට තේ කිලෝග‍්‍රෑම් 3000කට වඩා වැඩි විය.

රසායනික පොහොර භාවිතා කිරීමෙන් වසර කිහිපයක් තුළ හෙක්ටයාර එකකින් තේ කිලෝග‍්‍රෑම් 2,200 ක ජාතික ඵලදායිතා මට්ටමක් ළඟා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබෙන බව සඳහන් කිරීමට මා පසුබට වන්නේ නැත.

තේ පර්යේෂණ ආයතනය මේ වන විට TRI 5000 නමින් නවතම තේ ශ්‍රේණියක් හඳුන්වා දී අතර එයද රසායනික පොහොර මත රඳා පවතින බව සඳහන් කළ යුතුය. එමෙන්ම සියලූම වගාවන් රසායනික පොහොරවලට පමණක් ප‍්‍රතිචාර දක්වන බවද කවුරුත් දන්නා කරුණකි. අනෙක් අතට නයිට‍්‍රජන් 2%ක් පමණක් අන්තර්ගත කාබනික පොහොරවලින් පොහොර අවශ්‍යතාවය සපුරාලීම කිසිසේත් කළ නොහැක්කකි.

දැනට පවතින තේ වගාවන් සඳහා අවම පෝෂණයක් සහිත කාබනික පොහොර යෙදීමෙන් ඇතිවන බලපෑම

තේ පඳුරක ඇති ශක්තියෙන් 90%ක්ම යොදා ගනු ලබන්නේ එහි පැවැත්ම හා වර්ධනය වෙනුවෙනි. බෝග නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ ඉතිරි 10%ක ප‍්‍රමාණයයි. ඒ නිසාම තේ වගාවන් නියමාකාරයේ කෘෂිකර්ම භාවිතයන් තුළින් පෝෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. වගාවේ ඵලදාවේ ප‍්‍රමාණයට අනුව එහි වැඞීම හා ගසෙහි වර්ධනය වෙනුවෙන් ප‍්‍රමාණවත් පරිදි NPK පොහොර යෙදීම අනිවාර්ය වේ.

මෙම අවස්ථාවේදී කාබනික පොහොර යෙදීම තුළින් තේ වගාවට අවශ්‍ය NPK පොහොරවලින් ලැබෙන පෝෂණය නොලැබෙන අතර ඒ හේතුවෙන් අධි තනි පත‍්‍රයක් හෝ බන්ජි පත‍්‍ර පමණක් නිපදවීමට තේ ගසට සිදු වේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ අංකුර හෝ කොළ 2,3ක් සහිත රිකිලි අවම වීමයි. තමන්ගේ ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හැකි තරම් දළු රැස් කිරීමට උනන්දු වන තේ දළු නෙලන්නන් බර අඩුවීම මත බන්ජි පත‍්‍ර හෝ තනි පත‍්‍ර අස්වැන්නද නෙලා ගැනීමට උත්සුක වෙති. එහි ප‍්‍රතිඵලය වන්නේ මෙම තනි හා බන්ජි පත‍්‍ර මෝරා පසුව අස්වනු නෙලීමේදී කර්මාන්තශාලාවට පැමිණීමයි. මේවා තේ නිෂ්පාදනය සඳහා කිසිසේත් සුදුසු නොවන අතර ඒ නිසාම අවසන් නිෂ්පාදනය දුඹුරු පැහැයකින් තොරව අළු හෝ සුදු මැලි ලෙස දක්නට ලැබේ. තේ නිෂ්පාදනයේදී අවසානයේ ප‍්‍රතික්ෂේපිත තේ බවට පත් වන්නේ මෙම නිෂ්පාදනයන්ය.

මීට වසර 30 කට පමණ පෙර තේ නිෂ්පාදනයේදී ප‍්‍රතික්ෂේපිත තේ වල ප‍්‍රමාණය 6%ක් පමණ වුවද ශ‍්‍රම හිඟය හේතුවෙන් එහි අඛණ්ඩතාවයට බෙහෙවින් බලපෑම් ඇති වූ අතර නෙලන දළු ප‍්‍රමාණයෙන් 10%ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේපිත තේ බවට පත් විය. එවන් තත්වයක් තුළ අවම NPK අන්තර්ගතයක් සහිත කාබනික පොහොර හිටි හැටියේ භාවිතා කිරීම තුළින් නිෂ්පාදනයේ ප‍්‍රමිතිය අඩු වීම පමණක් නොව කසළ තේ ප‍්‍රමාණයද ඉහළ යනු නිසැකය.

නිෂ්පාදනය කරනු ලබන තේ වල ඇති කළු වර්ණයේ ප‍්‍රමාණය ඊට වෙළෙඳපොලෙහි ඇති ඉල්ලූමද ඉහළ නංවන අතර එය නිෂ්පාදනයටද ඉහළ වටිනාකමක් එක් කරනු ලබයි. එහෙත් යෝජනා කර ඇති කාබනික පොහොර යෙදීම මගින් NPK විශාල ලෙස අඩුවීම හේතුවෙන් තේ වල ගුණාත්මකභාවය පිරිහීමට ලක්වන අතර එය ලොව පිළිගත් සිලෝන් ටී නාමයට ආපසු හැරවිය නොහැකි ලෙස දැවැන්ත පරිහානියකට ලක් වනු ඇත.

NPK අවම කාබනික පොහොර තුළින් තේ පඳුරේ සැකැස්මට සිදු කරන බලපෑම

තේ ඵලදාව තීරණය කරනු ලබන ප‍්‍රධාන සාධකය වන්නේ තේ පඳුරේ සැකැස්මයි. තේ පඳුරක ඇති ඵලදායිතාව බොහෝ සෙයින් තීරණය වන්නේ එහි අතු සංඛ්‍යාව මත වීම සාමාන්‍ය තත්වයකි. අතු ගණන වැඩි වීම, අස්වැන්න විශාල වීමට හේතුවක් වන අතර කප්පාදු කිරීමෙන් පසු තේ පඳුර අඟල් 6 ක් උසට ඇලවීමටද එය හේතු වේ. VP ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන් ගත් කල අවුරුදු 4ක කප්පාදු කිරීමේ චක‍්‍රීය කාල වකවානුවේදී පඳුරුවල උස ක‍්‍රමයෙන් ඉහළ යාමට සැලැස්විය යුත්තේ ඉන් නිපදවන අලූත් දළු නිෂ්පාදනය වෙනුවෙන් නෙලා ගැනීම තුළිනි.

එසේම තේ පඳුර කප්පාදු කිරීමෙන් පසු 1 වන සහ 2 වන වර්ෂයන්හිදී පඳුරුවල උස අඟල් 8 -10 ත් දක්වා ප‍්‍රමාණයකට ඉහළ යා යුතු අතර 3 වන සහ 4 වන වර්ෂයන්හිදී අඟල් 6 සිට 8 දක්වා උස යා යුතුය. මේ තුළින් ඉදිරි කාලයේදී බෝග නිෂ්පාදනය සඳහා මූලික පදනම සැකසෙන අතර ඒ සඳහා වන සාරවත් අතු ඇති කිරීම සඳහා තේ පඳුරේ සැකැස්ම වර්ධනය කිරීම මේ තුළින් සාක්ෂාත් කරනු ඇත.

දශක 4ක් තිස්සේ තේ වගාව තුළ ඇති අත්දැකීම් හා පළපුරුද්ද මත පදනම්ව අඩු NPK මට්ටමක් සහිත කාබනික පොහොර යෙදීමට කටයුතු කළහොත් දැනට ඇති තේ පඳුරුවල ප‍්‍රමාණය අඩු වී ගොස් විශාල භෝග ප‍්‍රමාණයක් අහිමි වනු ඇති බවට පැවසිය හැකිය. පසු කාලයකදී මෙම පොහොර භාවිතය NPK ඉහළ පොහොර භාවිතය දක්වා වෙනස් කළද දුර්වලව ගිය තේ පඳුරු යළි යථා තත්වයට පත් කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත.

එහෙයින් මෙම කාබනික පොහොර භාවිතය ආරම්භ කිරීමට පෙර තේ පර්යේෂණ ආයතනයේ කළමනාකාරීත්වය යටතේ එම යෝජනාවන් වසර 2ක පමණ කාලයක් පරීක්ෂා කිරීමට කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා සාරවත් තේ වතු දෙකක්වත් අවම වශයෙන් තොරා ගනිමින් වසර දෙකකට පසු එහි කාර්යසාධනය තක්සේරු කිරීමට මේ මොහොතේ රජයේ අවධානය යොමු වනු ඇතැයි මගේ විශ්වාසයයි.

අද වන විට තේ කර්මාන්තය තුළින් ඍජු හා වක‍්‍ර රැකියා මිලියන 2ක් පමණ ලබා දී ඇති අතර පොහොරවල කාර්යක්ෂමතාව පිළිබඳ ප‍්‍රමාණවත් පර්යේෂණයන් තුළින් ඇගයීමක් නොකොට නුසුදුසු පොහොර ප‍්‍රතිපත්තියක් හඳුන්වා  දෙනු ලැබුවහොත් අනතුරේ වැටෙන්නේ මිලියන 2ක් පමණ වන ජනතාවගේ ජීවිත බවද මේ මොහොතේ මතක් කළ යුතුය.

කාබනික පොහොර භාවිතය හඳුන්වා  දීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැයද ඉහළ යන අතර ඒ නිසාම දුප්පතාගේ පානය වන තේ සමාජයේ සීමිත පොහොසත් කොටසකට පමණක් වන පානයක් බවටද පරිවර්තනය වනු ඇත. එහෙයින් රට සහ ජනතාව පිළිබඳව නැවත නැවතත් සිතා මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුතුව ඇත.

තේ යනු සොබා දහම විසින් මිනිසාට ලබා දෙන ත්‍යාගයකි. කිරීටක හෘදයාබාධ, සම, ආමාශ, පෙනහළු, බඩවැල්, පියයුරු සහ පුරස්ථි ආශ‍්‍රිත පිළිකා සහ දත් දිරායාම වැළැක්වීමට හැකි සෞඛ්‍ය ගුණයෙන් පිරිපුන් ලොව මිල අඩුම පානය ලෙසද තේ හඳුන්වා  දිය හැකිය. (තේ සහ සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ පත‍්‍රිකා සහ පොත් 2ක් තේ පර්යේෂණ ආයතනයෙන් ලබා ගත හැකිය).

Visits: 149