ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලමේ වැඩ අරඹයි

ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරන ගුවන් පාලමෙහි වැඩ කටයුතු පසුගියදා ආරම්භ කළ බව පවසයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අන්තර්ජාලය හරහා පැවැත්වුණු උත්සවයකින් පසුගිය ජූනි 07 වැනිදා මෙම කටයුතු ආරම්භ කෙරී තිබේ.

ඒ අනුව මෙරට ගුවන් පාලම් ඉදිකිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියිරිං පීඑල්සී විසින් කොළඹ බාලදක්ෂ මාවත සහ චිත්තප්පලම් ඒ ගාඩ්නියර් මාවත සම්බන්ධ කරමින් කොම්පඤ්ඤවීදියේ දුම්රිය මාර්ගය සහ බේරේ වැව හරහා මෙම ගුවන් පාලම ඉදිකිරීම සැලසුම වී ඇත.

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය අද වනවිට වඩාත් කාර්යබහුල වාණිජ ප්‍රදේශයක් බවට පත්ව තිබෙන අතර බොහෝ රජයේ කාර්යාලය, ආපනශාලා, රෝහල්, සමාගම්, සිකමාශාලා, ආගමික ස්ථාන සහ නිවාස ඇතුළු බොහෝ දේ එහි පිහිටා තිබේ.

එසේම අද වනවිට කොළඹ නගරයේ ඉදි කෙරෙමින් පවතින බොහෝ සංවර්ධන ව්‍යාපෘතින්ද සමගින් මෙම කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය දේපළ වෙළෙඳාම් සංවර්ධන ව්‍යාපෘතින් කේන්ද්‍රස්ථානයක් බවටත් පත්වෙමින් තිබේ. ඒ අතරින් Colombo Waterfront Integrated Resort, ITC Colombo One, Shangri La, Destiny Mall and Residency  සහ Tata Housing නිවාස ව්‍යාපෘතියත් ප්‍රධාන වෙයි.

මෙහිදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග ජාලයද කොළඹ නගරයෙහි දකුණු කොටස සහ කොළඹ ආර්ථික මධ්‍යස්ථානය වන කොළඹ කොටුව සහ පිටකොටුව එකිනෙක සම්බන්ධ කිරිම අතින් වැදගත් වෙයි. එසේම ඒ වෙත පැමිණෙන සහ ඉන් පිටවන වාහන හේතුවෙන් කාර්යබහුල වේලාවන්හිදී දැඩි වාහන තදබදයක්ද එහි ඇති වෙයි.

මේ අතර මෙරට ප්‍රධානම දුම්රිය මාර්ගයක් වන මුහුදුබඩ දුම්රිය මාර්ගයද මෙම කොම්පඤ්ඤවීදිය හරහා වැටී තිබේ. එහිදී ජස්ටිස් අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත අසල දුම්රිය ගේට්ටු දෙකක් පිහිටා ඇති අතර, දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට මෙම ගේට්ටු සියවාරයක් වැසීම සිදු වෙයි. ඒ හේතුවෙන් දිනකට මෙම එක් දුම්රිය ගේට්ටුවක් නිසා අහිමි වන කාලය පැය තුනක් ලෙස ගණන් බලා ඇත.

ඒ අනුව මෙම කාරණා සියල්ලටම පිළිතුරු ලෙස කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය ආශ්‍රිත ප්‍රධාන මාර්ග සම්බන්ධ කරමින් ගුවන් පාලම් තුනක් ඉදිකිරිම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇත. පසුගියදා ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී මගින් වැඩ ආරම්භ කර ඇත්තේ ඉන් එක් ගුවන් පාලමකි.

මෙහිදී මීටර් 360ක් දිගකින් යුක්තව ලෝහමය ගුවන් පාලමක් ලෙස මෙය ඉදි කෙරේ. එක් දිශාවකට රථවාහන ධාවනය සඳහා මීටර් 3.5ක් පළල මංතීරු තුනක් මෙහි පිහිටුවෙයි. එසේම දෙපසටම ගමන් කළ හැකි ලෙස මීටර් 2ක පළලකින් යුත් ඇවිදීමේ මංතීරුවක්ද ඊට ඇතුළත්ය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම ස්පාඤ්ඤයේ ඉංජිනේරු සමාගමක් වන Sentunion S.A. සමාගම සමගින් සම්බන්ධවී ඇති අතර, ඔවුන් මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය සැකැස්ම නිර්මාණය සහ ව්‍යාපෘතියට අදාළ උපදේශාත්මක සේවා ලබා දිම සිදු කරන බවත් පවසයි. එසේම Master Hellie’s Engineering Consultants Ltd. නම් සමාගමක් මෙම ගුවන් පාලමෙහි ජ්‍යාමිතික නිර්මාණය සම්බන්ධයෙන් උපකොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන බවත් පවසයි.

Visits: 552