ICTA වෙතින් ‘නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා’ නමින් අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා’ යන නමින් සමීක්ෂණ අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි පවසයි.

මෙය ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායකයන් සහ සක්‍රීය ව්‍යවසායකයන් මුහුණ දෙන බාධාවන් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන්නකි. එසේම බාධක ජය ගැනීම, ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කර ගැනීම යන වැදගත් අංගයන්ගෙන්ද මෙය සමන්විත වන බව පැවසෙයි.

අද (ජුනි 29) පැවති මාධ්‍ය හමුවකදී මෙම සමීක්ෂණ වාර්තාව එළි දැක්වීම සිදු වූ අතර, ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී,ඉංජිනේරු, මහින්ද බී. හේරත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජික ටිෂාන් සුබසිංහ, PwC ශ්‍රී ලංකාවේ මූල්‍ය හා තක්සේරුකරණ උපදේශනය, අධ්‍යක්ෂක අරුණ පෙරේරා, කැල්සි ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න, ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (අයිඑෆ්සී) සහ තාක්ෂණ ආයෝජන සඳහා දකුණු ආසියාවේ කලාපීය නායක රුචිරා ශුක්ලා මහත්මිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව්‍ය පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ.

මෙම සමීක්ෂණය මගින් වර්තමාන තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය පිළිබඳ පුළුල් දැක්මක් සපයන අතර, රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කරන බවත් පවසයි. එසේම නව්‍ය පරිසර පද්ධති වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බලධාරීන්ට නව්‍ය පරිසර පද්ධතිය සමඟ සමීපව කටයුතු කළ හැකි සහයෝගී ප්‍රවේශයක් ද සමීක්ෂණයෙන් ඉදිරිපත් කෙරෙන බවත් සඳහන් වෙයි.

මෙහිදී නව්‍ය තාක්ෂණික ව්‍යාපාර පද්ධතියේ ප්‍රධාන පාර්ශවකරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මෙහෙයුම් කමිටුවක මඟ පෙන්වීම සහ සහයෝගය සමගින් මෙම වාර්තාව සකස් වී ඇත.

ඒ අනුව 99X හි ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය සභාපති, මෙහෙයුම් කමිටු සභාපති – මනෝ සේකරම්, කැල්සි ටෙක්නොලොජීස් (පුද් ) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න, ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරි චලින්ද අබේකෝන්, භාෂා ලංකා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධනික, සිමෙක්ස් මෘදුකාංග (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්) සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරිනි ජයෝමි ලොකුලියන යන මහත්ම මහත්මින්ගෙන් මෙම නිලධාරී කමිටුව සමන්විත වේ.

මෙම අධ්‍යයනයේ වැදගත්කම නම්, නව්‍ය ව්‍යවසායකයින් මුහුණ දෙන බාධක පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් සිදු කර අනෙක් රටවල සිද්ධි අධ්‍යයනයන් ට සමාන ස්වභාවයකින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ලබාගත් නිගමනයන් සදහා ක්‍රියාකාරී සැලැස්මක් නිර්දේශ කර තිබීමයි. යෝජිත ක්‍රියාකාරී සැලැස්ම දේශීය නව්‍ය ව්‍යවසායකයන්ට සහය දැක්වීම සඳහා තවදුරටත් දේශීයකරණය කර ඇති අතර රාජ්‍ය ආයතන මගින් ද සහය ලබා දී ඇත.

විදේශ විනිමය, විදේශ ආයෝජකයින්ට ඇති බාධක, බුද්ධිමය දේපළ, බදුකරණය, සංක්‍රමණ, පර්යේෂණ හා සංවර්ධන, හරස් බෝඩර් ක්‍රියාකාරකම් සඳහා රජයේ සහාය, දත්ත රහස්‍යතාව සහ සයිබර් ආරක්ෂාව, ඩිජිටල් ගෙවීම්, ණය මූල්‍යකරණය, විදුලි සංදේශ රෙගුලාසි, පරිපාලන කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ අදාළ අංශ භාරව සිටින රාජ්‍ය බලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් මෙම ගැටළු විසඳීම සඳහා ක්‍රියාමාර්ග 44 ක් යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ය පුරෝගාමී වේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය “නව්‍ය තාක්ෂණික ව්‍යාපාර පද්ධති සංවර්ධන” (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර ඒකකය මගින් රට තුළ නව තාක්‍ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා දීම අරමුණු වී තිබේ.

Visits: 50