හිටපු මහ බැංකු අධිපති සුනිල් මෙන්ඩිස් කාර්ගිල්ස්/කොත්මලේ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ සහ කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් මහතා එම ධුරවලින් ඉවත් වී ඇතැයි පවසයි.

අද (ජූනි 29දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින් ඉවත්වී තිබේ. ඒ මහතා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස එම සමාගම්හි කටයුතු කර ඇත.

මේ වනවිට 76 හැවිරිදි වියේ පසුවන ඒ මහතාට ඉදිරියේදී පැවැත්වීමට නියමිතව කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සහ කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල වාර්ෂික මහා සභා රැස්වීම්වලදී යළිත් එම ධුර සඳහා තේරීපත් විමේ අවස්ථාව පැවතියත්, තමන් ඊට ඉදිරිපත් නොවන බව පවසා තිබෙන බව එම සමාගම් පවසයි.

මෙම සමාගම් අතරින් කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමේ කොටස් 22,857ක හිමිකාරීත්වයක් ඒ මහතා සතුව පවතින බවත්, කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව ඒ මහතාගේ කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් මහතා 2004 වසරේ සිට 2006 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ඊට පෙර ඒ මහතා හේලීස් සමූහයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර ඇති අතර හෙතෙම වසර 42කට ආසන්න කාලයක් එම සමූහයේ රැකියාව සිදු කර ඇත.

දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් මහතා මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන 100කට අධික සංඛ්‍යාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර සමාගම් 7කද අධ්‍යක්ෂ මණ්ඩල ධුර දරා ඇතැයි සඳහන් වෙයි. එසේම 1994-2004 කාලය තුළ ඒ මහතා ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මීට අමතරව අපනයනය සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ඇතුළු ආයතනවල අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ. එසේම 2004-2005 කාලසීමාවේදී ඒ මහතා ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික කවුන්සිලයේ අධ්‍යක්ෂ ධුරය දරා තිබේ. ඒ මහතා දේශමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත්තේ 2005 වසරේදීය.

Visits: 357