වටිනා සමාගම්වල කොටස් මිලදී ගෙන තිබූ ආයෝජකයන් හට දරුණු අලාභ

අද (ජූනි 29) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරේදී වටිනා සමාගම්වල කොටස් මිලදී ගෙන තිබූ ආයෝජකයන් තුළ දරුණු අලාභ හිමිවීමක් වාර්තා වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් වැඩි ඉල්ලුමක් නොමැති කොටස් සඳහා වන ආයෝජක ආකර්ෂණය අද දිනයේදී අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්ද දැකගත හැකිව තිබේ.

මේ අතර ඊයේ දිනයේදී නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ ඇති වූ ගනුදෙනු අද දිනයටත් ක්‍රියාත්මක වුවත්, එහි වටිනාකම්ද පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ. මෙලෙස විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්හි වටිනාකම් තුළ සිදු වූ දරුණු කඩාවැටීම දර්ශක අගයන් දරුණු ලෙස පහත හෙළීමට හේතු වී ඇත. එහිදී විශේෂයෙන්ම දිනයේ ගනුදෙනු සඳහා NIFL හි වටිනාකම් ඉහළයාම හරහා දැක් වූ දායකත්වයත් ප්‍රමාණවත් නොවූ බව තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,857.79ත් ඒකක 7,956.01ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,856.64ක් බවට පත්විය. එය ඊයේ (ජූනි 28) දිනයට සාපේක්ෂව ඒකක 21.20ක් එනම් -0.27%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 46ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 141ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+66.5), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (+3.86), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (+1.62), කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී COMD (+0.92), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+0.73), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-17.44), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-10.13), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-7.45), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-5.32), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,002.96ක අගයක් ගත් අතර, එය ඊයේ (28දා) ‍ට සාපේක්ෂව ඒකක 34.82 ක එනම් -1.15%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.3ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (28දා) වාර්තා කළ රුපියල් බිලියන 1.57ට සාපේක්ෂව 47% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.48ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.49%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 16.0ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 28.01ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 12.0කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටත2ට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.38ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.81 කි. එසේම වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.76ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,159ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 50%කි. එසේම බැංකු සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 288ක සහ රුපියල් මිලියන 204ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 1146