JAT Holdings වෙත රුපියල් මිලියන 621 ක බදු පසු ලාභයක්

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන සමූහ ව්‍යාපාරයක් වන JAT Holdings, අභියෝගකාරී වෙළඳපොළ හා ආර්ථික තත්ත්වයන් හමුවේ පවා, 2020/21 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් හා ස්ථාවර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වී ඇතැයි පවසයි. 

ඒ අනුව COVID-19 රෝග ව්‍යාප්තිය නිසා සුළු ශුද්ධ අලාභයක් වාර්තා කළද, වර්ෂයේ දෙවැනි අර්ධය තුළ නැවත යථා තත්ත්වයට පත්වෙමින් සහ මුල් අර්ධයේ ලැබූ අලාභයේ බලපෑමෙන් මුළුමනින්ම මිදෙමින්, බදුවලට පසු ලාභය ලෙස රු. මිලියන 621 ක්ද, පෙර වසරේ වාර්තා කළ දළ ලාභ ආන්තිකය වූ 27.6% ට සාපේක්ෂව මෙවර 30.7% ක්ද, ශුද්ධ ලාභ ආන්තිකය ලෙස 11.2% ක්ද වාර්තා කිරීමට එම සමූහය සමත් වී ඇත.

1993 වසරේදී ආරම්භ වී, ශ්‍රී ලංකාවේ වෙළඳපළ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට යමින් JAT Holdings මේ වනවිට කෙතරම් සාර්ථක හා ස්ථාවර තත්ත්වයක් ළඟා කරගැනීමට සමත් වී තිබේද යන්න මෙම ප්‍රතිඵල මගින් මැනැවින් පිළිබිඹු වේ. පසුගිය වසර 4 ක කාලය තුළ LMD විසින් අඛණ්ඩව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් 100 අතරට නම්කරනු ලැබීම සහ, Brand Finance මගින් ප්‍රකාශයට පත්කරනු ලබන විශිෂ්ටතම සමාගම් 20 අතරට එක්වීමට JAT Holdings සමත් වීම මීට තවදුරටත් සාක්ෂි සපයයි.

එමෙන්ම JAT Holdings අඛණ්ඩව වසර 5 ක කාලයක් Moody’s වෙතින් ICRA “A+ Stable” ශ්‍රේණිගත කිරීම හිමිකර ගැනීම සමත් වූ එකම ශ්‍රී ලාංකික පෞද්ගලික සමාගම වීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන, JAT Holdings හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා ” දැව ආලේපන, තීන්ත, බුරුසු, මුළුතැන්ගෙයි කට්ටල, කාර්යාලයීය පුටු ආදී දැව නිෂ්පාදන රැසක් අප වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම, බංග්ලාදේශය සහ වෙනත් දකුණු ආසියාතික රටවල ක්‍රියාත්මක වන අපගේ ව්‍යාපාර කටයුතු නිසා, COVID-19 හේතුවෙන් ඇති වූ අභියෝග හමුවේ පවා සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබුණා. අපගේ උත්සාහයන් සාර්ථක වී ඇති බවට, මෙම මූල්‍ය ප්‍රතිඵල ඉතා හොඳ සාක්ෂියක්. අපගේ අනාගත වර්ධන මාවතේ කොටසක් ලෙස, මූලික කොටස් නිකුතුවක් මගින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමටත්, අපගේ වර්ධන අභිලාෂයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අපගේ බලපෑම් ක්ෂේත්‍රය පුළුල් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර, 2020/21 මූල්‍ය වර්ෂය තුළ, ශ්‍රී ලංකාවේ දැව ආලේපන, තීන්ත සහ බුරුසු වෙළඳපොළේ සමාගමක් වාර්තා කරගත් ඉහළම වාර්ෂික වර්ධනය වන 29% වාර්තා කිරීමට JAT Holdings සමාගමට හැකියාව ලැබී තිබේ. මාස 2 ක් පුරා සංචරණ සීමා පනවා තිබූ පසුබිමක් තුළ පවා මෙය වාර්තා කරගැනීමට හැකිවීම විශේෂත්වයකි. එමෙන්ම අදාළ වර්ෂයේ මාස 7 කට වැඩි කාලයක් පුරා අඛණ්ඩව යහපත් මුදල් ප්‍රවාහයක් සහතික කරගනිමින්, 2021 මාර්තු 31 දිනය වන විට ශුද්ධ ලාභය ලෙස රු. මිලියන 490 ක් වාර්තා කරන ලදි.

එසේම COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලසීමාවේදී, JAT Holdings විසින් WHITE by JAT නමින් විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් බ්‍රිලියන්ට් වයිට් ඉමල්ෂන් තීන්ත එකතුවක් හඳුන්වා දුන් අතර, අලෙවිසැල් හරහා මෙන්ම පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම ඔස්සේ ඒවා අලෙවි කරන ලදි. එමෙන්ම දේශීය වෙළඳපොළට උසස් ගුණාත්මක බවකින් යුත් පවිත්‍රකාරක හඳුන්වා දීමේ පියවරක් වශයෙන්, JAT Care නිෂ්පාදන පෙළ යටතේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි දෑත් පවිත්‍රකාරක සහ මතුපිට පවිත්‍රකාරක නිෂ්පාදන පෙළක් දියත් කිරීම සිදුවිය.

සමාගම තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමෝපායේ එක් පියවරක් වශයෙන්, පෙර වසරේදී නව ප්‍රදර්ශනාගාර 3 ක් විවෘත කිරිමත් සිදුව ඇත. මෙම ප්‍රදර්ශනාගාර තලවතුගොඩ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය, නාවල සහ කොළඹ One Galle Face සංකීර්ණය යන ස්ථාන වල පිහිටා තිබේ.

වසංගත රෝග ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ සංවර්ධන ව්‍යපෘති තාවකාලිකව නතර කරනු ලැබීම හෝ මන්දගාමී වීම නිසා සමස්ත ව්‍යපෘති පරිමාව 82% කින් පහළ යාම සිදුව තිබේ. එහෙත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමග මෙම තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතීමත් විශේෂත්වයකි.

2021 මාර්තු 31 වන විට රු. බිලියන 1 ක් වටිනා ව්‍යාපෘති තහවුරු කරගැනීමට සමාගම සමත් වූ අතර, ඉදිරි මූල්‍ය වර්ෂ වල ප්‍රතිඵල සඳහා එම ව්‍යාපෘති මගින් යහපත් දායකත්වයක් ලැබෙනු නිසැක බවත් සමාගම පවසයි.

මෙහිදී සමාගමේ අනාගත සැලසුම් ලෙස මූලික කෙටිකාලීන ඉලක්කයක් වන්නේ, තම ප්‍රාග්ධන පදනම වර්ධනය කරගැනීම සඳහා මූලික කොටස් නිකුතුවක් සිදුකරමින් කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වීම බවත් සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම අති-නවීන පහසුකම් සහිත පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ බංග්ලාදේශයේ නව නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම වැනි සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා එම අරමුදල් යොදවනු ඇත.

නව කර්මාන්තශාලාවට අදාළ සාකච්ඡා මේ වනවිට අවසන් වී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ වී තිබෙන බවත්, අප්‍රිකානු කලාපයේ නව කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් සමාගම පවසයි.

ඒ අනුව මෙම නව පහසුකම් මගින් කලාපීය වෙළඳපොළවල් තුළ JAT Holdings සමාගම සතු ස්ථානය තවදුරටත් තහවුරු වනු ඇති අතර, ආදායම සහ ආන්තිකයන්ගේ වර්ධනයටද එය හේතු වනු ඇතැයිද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 384